ICC තහනමක් ගැන ජූනි මාසයේ සාකච්ඡා කරලා නැහැ? අයි.සී.සීයට පළමුව පැමිණිලි කළෙත් SLC

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පසුගිය ජූලි මාසයේ දී උත්සාහ දැරූ නමුත්, තමන් විසින් එම තහනම පැනවීම වළක්වා ගත්තේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය අසත්‍ය බවට තොරතුරු වාර්තා වන බව cricinfo වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
ජූලි මාසයේ දී අයි.සී.සීය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තහනමක් පැනවීම සම්බන්ධයෙන් එවැනි සාකච්ඡාවක් සිදුව නොමැති බවයි එම වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දේශපාලන මැදිහත් වීම් සිදු වන බවට එල්ල වූ චෝදනා පිළිබද විමර්ශනය කිරීම සදහා අයි.සී.සී ය ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබූ අතර, එහි සාමාජිකයෙකු වූ අයි.සී.සී උප සභාපති ඉම්රාන් ක්වාජා අදාළ චෝදනා පිළිබද කරුණු සෙවීම සදහා පසුගිය මැයි 10 වැනිදා මෙරටට පැමිණියා.
දේශපාලන මැදිහත්වීම් සිදුව ඇති බව ජගත් ක්‍රිකට් කවුන්සලයට පසුගිය නොවැම්බර් මාසයේ දී පැමිණිලි කිරීමක් සිදු කළේ ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්ම වීම විශේෂත්වයක්.
එම පැමිණිලි කිරීමට ප්‍රතිචාර දක්වමින් දෙසැම්බර් මස මුලදී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා වෙත සදහන් කර තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යම්කිසි දේශපාලන මැදිහත්වීමක් සම්බන්ධයෙන් යම් ගැටළුකාරී තත්වයක් පවතින්නේනම් පළමුව අදාළ අමාත්‍යවරයා වෙත පැමිණිලි කිරීම සිදු කළ යුතුව ඇති බවයි.
දේශපාලන මැදිහත්වීම සම්බන්ධයෙන් ප්‍රධාන කරුණු 04ක් කෙරෙහි අවධානය යොමු කර ක්‍රිකට් ආයතනය විසින් ජගත් ක්‍රිකට් කවුන්සලයට පැමිණිලි කර තිබූ බව සදහන්. එම කරුණු වූයේ,
1. දේශපාලන මුහුණුවරකින් යුක්තව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානිවන අයුරින් පදනම් විරහිතව සිදුකරනු ලැබූ විවිධ චෝදනා සහ ප්‍රකාශයන්.
2. නිළවරණයක් තුළින් පත්වී කටයුතු කරන ක්‍රිකට් ආයතනයේ පරිපාලකයින් සම්බන්ධයෙන් විවිධ පාර්ශව පදනම් විරහිතව සිදු කරනු ලබන ද්වේෂ සහගත ප්‍රකාශ.
3. ක්‍රීඩා පනත යටතේ ඇතිකර ඇති විවිධ තනතුරු සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට තරඟකොට පරාජය වූ සහ එම හේතුව මත බැඳියාවන් අතර ගැටුමක් ඇති අර්ජුන රණතුංග මහතා වැනි පුද්ගලයින් දේශපාලනික වශයෙන් පත්කිරීම. (ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිධූරයට පත් කිරීම පිළිබදවයි මෙම කරුණ තුළින් අවධානය යොමු කර තිබුණේ)
4. අනිකුත් සියලු ආකාරයේ මැදිහත්වීම්.
අනතුරුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනයට එල්ල වන බව කියන දේශපාලන මැදිහත්වීම් පිළිබඳ සොයා බැලීම සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජික, අයි.සී.සී උප සභාපති ඉම්රාන් ක්වාජා පසුගිය මැයි මස දිවයිනට පැමිණි අතර, එම සංචාරයේ දී ඔහු ක්‍රිකට් බලධාරීන් සමග හා ක්‍රීඩා අමාත්‍යවරයා සමග ද සාකච්ඡා පවත්වනු ලැබුවා.
“කවාජා මහත්මයා ආවේ මැයි 10 වැනිදා. අයි.සී.සී රැස්වීමට මම ගියා ජූලි 10-14. ඒගොල්ලන්ගේ වාර්තාවේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ තනිකරම දේශපාලන මැදිහත්වීම් කරනවා කියලා ශ්‍රී ලංකා ක්‍රිකට්වලට.” යනුවෙන් සභාපති ශම්මි සිල්වා මහතා ඊයේ(11) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියා.
“එතකොට එයාලා මගෙන් ඇහුවා අපිට තියෙනවා ක්‍රම ටිකක්. එක්කො ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්න ඕනෙ, එක්කෝ ක්‍රිකට් නවත්වන්න ඕනේ, එක්කෝ සල්ලි නවත්වන්න ඕනේ. මම ඒසැරේ ඒගොල්ලන්ට කිව්වා මේක තහනම් කරන්න එපා. දැන් මේ ඔක්කොම ප්‍රශ්න ටික ඉවරයි. ඔයාලා (මාධ්‍යවේදීන්ට) අහන්න අයි.සී.සී එකට කතා කරලා. ජූලි 10-14 අතර තමයි අපිව තහනම් වෙන්න ගියේ. අද ඊයේ නෙවෙයි. “
කෙසේ වෙතත්, cricinfo වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ එම අවස්ථාව වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සෘජු දේශපාලන මැදිහත් වීමක් සිදු වන බවට කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට අයි.සී.සීයට හැකියාව ලැබී නොතිබූ බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවන ලෙසට අයි.සී.සීයට දැනුම් දී තිබුණේ ද ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා විසින්ම බව cricinfo වෙබ් අඩවිය වාර්තා කර තිබුණා. මෙරට රජයට පීඩනයක් ඇති කිරීමේ අරමුණ ඇතිව එය සිදු කර තිබූ බව සදහන්.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ශම්මි සිල්වා මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සදහන් කළේ “මම කීවනේ මේක මාස 4කට 5කට ඉස්සෙල්ලා ඉදං වෙන එකක් කියලා. එහෙමනම් මම මාර පොරක් වෙන්න ඕනනේ සිනමන් ග්‍රෑන්ඩ් එකේ ඉදං මේක කරන්න පුලුවන්නම්.”
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවීමට ගත් තීරණය සම්බන්ධයෙන් හා මෙරට දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් එළඹෙන 21 වැනිදා අයි.සී.සීය වැඩිදුරටත් සාකච්ඡ කිරීමට නියමිතයි.