Ultimate magazine theme for WordPress.

Euro 2024 : එංගලන්තය පරදා සිව්වැනි වරටත් යුරෝපා ශූරතාවය ස්පාඤ්ඤයට

ජර්මනියේ පැවැති 2024 යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ස්පාඤ්ඤ කණ්ඩායම මෙරට වේලාවෙන් අද(15) අලුයම සමත් වුණා.

ඒ, බර්ලින් නුවර පැවැති අවසන් මහා තරගයේ දී එංගලන්තය පරදා ගෝල 2-1 ක් ලෙස ජය වාර්තා කරමින්.

මෙය ස්පාඤ්ඤය යුරෝ කුසලානයක් ජය ගත් සිව්වැනි අවස්ථාව (1964, 2008, 2012, 2024) වීම විශේෂත්වයක්. සිව්වතාවක් මෙම ශූරතාවය දිනූ පළමු රට ලෙසයි ඔවුන් ඉතිහාසයට එක් වුණේ.

පසුගිය තරගාවලියේ දී ද අවසන් මහා තරගයට පිවිස ඉතාලිය හමුවේ පරාජයට පත් වීම හේතුවෙන් අනුශූරතාවයෙන් සෑහීමකට පත් වීමට සිදු වූ එංගලන්තයට මේ දක්වා කිසිදු යුරෝපා කුසලනයක් ජය ගැනීමට හැකියාව ලැබී නැහැ.

අද පැවැති අවසන් තරගයේ පළමු අර්ධය නිමා වුණේ කණ්ඩායම් දෙකම කිසිදු ගෝලයක් වාර්තා කිරීමකින් තොරවයි.

කෙසේ වෙතත්, දෙවැනි අර්ධය ආරම්භ වනවාත් සමගම 47 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Nico Williams ස්පාඤ්ඤයට පළමු ගෝලය වාර්තා කර දුන්නා.

අනතුරුව සිය උත්සාහය අත් නොහැරූ එංගලන්තය ද 73 වන මිනිත්තුවේ දී ගෝලයක් රැස් කළා. එම ගෝලය වාර්තා කළේ Cole Palmer විසිනුයි.

පසුව යළි ක්‍රියාත්මක වූ ස්පාඤ්ඤය 86 වන මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමින් තරගයේ යළි පෙරමුණ හිමි කර ගැනීමට සමත් වුණා. Mikel Oyarzabal විසින් එම ජයග්‍රාහී ගෝලය රැස් කරනු ලැබුවා.