Ultimate magazine theme for WordPress.

Day 2 Report : රහ්මාන්ගේ කඩුලු 5 හා ශහීඩිගේ 53* හමුවේ ඇෆ්ඝනිස්තානය යළි සටනට

සියා-උර්-රහ්මාන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හා නායක හෂ්මතුල්ලාහ් ශහීඩිගේ නොදැවුණු අර්ධ ශතකය හමුවේ සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දී යළි සටනට අවතීර්ණ වීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අද(29) සමත් වුණා.

අබුඩාබි හී දී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඇෆ්ඝනිස්තානය කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 134 ක්.

ඒ අනුව ඔවුන් මේ වන විට විට දෙවැනි ඉනිමේ දී ලකුණු 26 ක් ඉදිරියෙන් පසුවනවා.

ශහීඩි නොදැවී ලකුණු 53 ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර, රහ්මනුල්ලාහ් ගුර්බාස් නොදැවී ලකුණු 23 යි. නූර් අලී සඩ්‍රාන් ලකුණු 32 ක් රැස් කළා.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි අයර්ලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 100 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 263 ක් ලබා ගත්තා.

ඒ, තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 155 ට පිළිතුරු ලෙසයි.

පෝල් ස්ටර්ලින්ග් ලකුණු 52 ක් ලබා ගත් අතර, කර්ටිස් කැම්පර් ලකුණු 49 යි. ලෝකන් ටකර් ලකුණු 46 ක් රැස් කළා. පන්දු යැවීමේ දී සියා-උර්-රහ්මාන් ලකුණු 64 කට කඩුලු පහක් දවා ගත්තා.

Leave a comment