Ultimate magazine theme for WordPress.

CWC 2023 : ඉන්දු – පාකිස්තාන තරගය ඔක්තෝබර් 15 ; ප්‍රධාන තරග පැවැත්වෙන දින මෙන්න

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ජගත් ක්‍රිකට් කවුන්සලය වෙත යොමු කර තිබෙනවා.

එම කාලසටහන මේ වන විට තරගාවලියට එක්වන සෙසු රටවල් වෙත යොමු කර ඇති අතර, එම රටවලින් ලැබෙන ප්‍රතිචාර සලකා බලා අවසන් තරග කාලසටහන මෙම සතියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ලෝක කුසලාන තරගාවලියේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් තරගය වන ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය ඔක්තෝබමර් 15 වැනිදා ප්‍රේක්ෂකයින් ලක්ෂයකට අධික සංඛ්‍යාවකට තරග නැරඹිය හැකි අහ්මදාබාද් හී දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය හා අවසන් මහා තරගය අහ්මදාබාද් හී දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

පළමු තරගය පසුගිය ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ක්‍රීඩා කළ ලෝක ශූර එංගලන්තය හා නවසීලන්තය අතර ඔක්තෝබර් 5 වැනිදා පැවැත්වීමට නියමිතයි.

නොවැම්බර් 19 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලියේ දී සත්කාරක ඉන්දියාව ක්‍රීඩා කරන පළමු තරගය ඔස්ට්‍රේලියාවට එරෙහිව චෙන්නායි හී දී ඔක්තෝබර් 8 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ දී ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කරන තරග ක්‍රීඩාංගන 9කදී පැවැත්වීමට නියමිත බව සදහන්.

යෝජිත ඉන්දීය තරග කාලසටහන –

  • ඔක්තෝබර් 8 – ඔස්ට්‍රේලියාවට එරෙහිව චෙන්නායි හී දී
  • ඔක්තෝබර් 11 – ඇෆ්ඝනිස්තානයට එරෙහිව දිල්ලි හී දී
  • ඔක්තෝබර් 15 – පාකිස්තානයට එරෙහිව අහ්මදාබාද් හී දී
  • ඔක්තෝබර් 19 – බංග්ලාදේශයට එරෙහිව පූනේ හී දී
  • ඔක්තෝබර් 22 – නවසීලන්තයට එරෙහිව ධරම්සාලා හී දී
  • ඔක්තෝබර් 29 – එංගලන්තයට එරෙහිව ලක්නව් හී දී
  • නොවැම්බර් 2 – සුදුසුකම් ලබන රටකට එරෙහිව මුම්බායි හී දී
  • නොවැම්බර් 5 – දකුණු අප්‍රිකාවට එරෙහිව කොල්කටා හී දී
  • නොවැම්බර් 11 – සුදුසුකම් ලබන රටකට එරෙහිව බැංගලූරු හී දී

සෙසු ප්‍රධාන තරග අතරින් ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර තරගය නොවැම්බර් 4 වැනිදා අහ්මදාබාද් හී දී ද, ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර තරගය ඔක්තෝබර් 29 වැනිදා ධරම්සාලා හී දී ද පැවැත්වීමට නියමිතයි. නවසීලන්තය හා දකුණු අප්‍රිකාව තරග වදින්නේ නොවැම්බර් පළමු වැනිදා පූනේ හී දී යි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී පාකිස්තාන කණ්ඩායම ක්‍රීඩාංගන 5 කදී සිය තරග ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

යෝජිත පාකිස්තාන තරග කාලසටහන –

  • ඔක්තෝබර් 6 – සුදුසුකම් ලබන රටකට එරෙහිව හයිදරාබාද් හී දී
  • ඔක්තෝබර් 12 – සුදුසුකම් ලබන රටකට එරෙහිව හයිදරාබාද් හී දී
  • ඔක්තෝබර් 15 – ඉන්දියාවට එරෙහිව අහ්මදාබාද් හී දී
  • ඔක්තෝබර් 20 – ඔස්ට්‍රේලියාවට එරෙහිව බැංගලූරු හී දී
  • ඔක්තෝබර් 23 – ඇෆ්ඝනිස්තානයට එරෙහිව චෙන්නායි හී දී
  • ඔක්තෝබර් 27 – දකුණු අප්‍රිකාවට එරෙහිව චෙන්නායි හී දී
  • ඔක්තෝබර් 31  – බංග්ලාදේශයට එරෙහිව කොල්කටා හී දී
  • නොවැම්බර් 5 – නවසීලන්තයට එරෙහිව බැංගලූරු හී දී
  • නොවැම්බර් 12 – එංගලන්තයට එරෙහිව කොල්කටා හී දී

තරග කාලසටහන පසුගිය දිනවල පැවැති ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය අතරතුර දී ප්‍රකාශයට පත් කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශාහ් මීට පෙර සදහන් කර තිබූ නමුත්, එය නිවේදනය කිරීමට හැකි වූයේ නැහැ.

අනතුරුව ජගත් ක්‍රිකට් කවුන්සලයේ ප්‍රධාන විධායක නිළධාරී Geoff Allardice මෑතකදී BBC වෙත අදහස් දක්වමින් සදහන් කළේ ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට උත්සාහ කරන බවයි.