Ultimate magazine theme for WordPress.

Cricinfo සම්මානලාභීන් ප්‍රකාශයට පත් කෙරේ

2021 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ක්‍රීඩකයින් දැක් වූ දක්ෂතාවලට අදාළව, ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ තොරතුරු වාර්තා කරන ලොව ප්‍රමුඛතම වෙබ් අඩවිය වන ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් පිරිනමනු ලබන සම්මාන (ESPNCRICINFO AWARDS) හිමි කර ගත් ක්‍රීඩකයින්ගේ නම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව වසරේ ටෙස්ට් ක්‍රිකට් පිටියේ දී පිතිකරුවෙකු දැක්වූ හොදම දක්ෂතාවය සදහා වන සම්මානය මෙවර හිමිව ඇත්තේ ඉන්දියාවේ රිෂාබ් පාන්ට් වෙතයි.

ඒ, ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් ක්‍රීඩාංගනයේ දී නොදැවී ලකුණු 89ක් ලබා ගනිමින් ඉන්දියාවට ටෙස්ට් තරගාවලි ජයක් හිමි කර දීමට ඔහු දැක් වූ සුවිශේෂී දක්ෂතාවය වෙනුවෙනුයි.

හොදම ටෙස්ට් පන්දු යැවීමේ දී දක්ෂතාවය සදහා වන සම්මානය නවසීලන්තයේ ක්යිල් ජමීසන්ට හිමිව තිබෙනවා.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ දී ඉන්දියාවට එරෙහිව ලකුණු 31කට කඩුලු 5ක් දවා ගනිමින් පළමු ලෝක ටෙස්ට් ශූරතාවය නවසීලන්තයට හිමි කර දීම වෙනුවෙන් ඔහු දැක් වූ දක්ෂතාවය සදහායි එම සම්මානය ක්යිල් ජමීසන්ට හිමි වුණේ.

ලෝක ටෙස්ට් ශූරතාවය හා පන්දුවාර 20යි 20 ලෝක ක්‍රිකට් අනුශූරතාවය දිනා ගත් නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් වසරේ නායකයා ලෙසයි සම්මානයෙන් පිදුම් ලැබුවේ.

වසරේ එක්දින පිතිකරණ දක්ෂතාවය වෙනුවෙන් පාකිස්තානයේ ෆකාර් සමාන් සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ, ජොහැනස්බර්ග් හී දී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයේ දී රැස් කළ ලකුණු 193 වෙනුවෙන්.

කර්ඩිෆ්හි පැවැති පළමු එක්දින තරගයේ දී පාකිස්තානයට එරෙහිව ලකුණු 42කට කඩුලු 4ක් දවා ගනිමින් දැක් වූ දක්ෂතාවය හේතුවෙන් හොදම එක්දින පන්දු යැවීමේ දක්ෂතාවයට හිමි සම්මානය එංගලන්තයේ සකිබ් මහ්මූද් විසින් හිමි කර ගත්තා.

හොදම 20යි 20 පිතිකරණ දක්ෂතාවයට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ එංගලන්තයේ ජොස් බට්ලර්. ඒ, 20යි 20 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව නොදැවී වාර්තා කළ ලකුණු 101 වෙනුවෙන්.

20යි 20 ලෝක කුසලානයේ දී ඉන්දියාවට එරෙහිව ලකුණු 31කට කඩුලු 3ක් දවා ගත් පාකිස්තානයේ ශහීන් ශාහ් අෆ්රිඩි සම්මානයෙන් පිදුම් ලැබුවේ වසරේ හොදම 20යි 20 පන්දු යැවීමේ දක්ෂතාවය සදහායි.

පසුගිය වසරේ දී ජාත්‍යන්තර වරම් දිනා ගනිමින් ටෙස්ට් තරග 8කදී කඩුලු 37ක් දවා ගනිමින් දැක් වූ දක්ෂතා හේතුවෙන් වසරේ ජාත්‍යන්තර වරම් දිනූ හොදම ක්‍රීඩකයාට හිමි සම්මානය එංගලන්තයේ ඔලී රොබින්සන්ට හිමි වුණා.

ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් 15 වැනි වරටයි මෙලෙස සම්මාන ප්‍රදානයක් සංවිධාන කළේ.

සම්මානලාභීන් :

  • Men’s Test batting: Rishabh Pant 89 not out vs Australia
  • Men’s Test bowling: Kyle Jamieson 5 for 31 vs India
  • Men’s ODI batting: Fakhar Zaman 193 vs South Africa
  • Men’s ODI bowling: Saqib Mahmood 4 for 42 vs Pakistan
  • Men’s T20I batting: Jos Buttler 101 not out vs Sri Lanka
  • Men’s T20I bowling: Shaheen Afridi 3 for 31 vs India
  • Women’s batting: Beth Mooney 125 not out vs India
  • Women’s bowling: Kate Cross 5 for 34 vs India
  • Debutant of the year: Ollie Robinson
  • Captain of the year:Kane Williamson
Leave a comment