Ultimate magazine theme for WordPress.

Ball-tracking සදහා වැරැදි දත්ත ලබා දී ඇති බව පිළිගනිමින් Hawk-Eye සමාව ඉල්ලයි

ක්‍රියාකරුගේ වරදක් නිසා පන්දුවේ ගමන්මගට වැරැදි දත්ත ලබා දී විකාශය කිරීම හේතුවෙන් වැරැදි තීරණයක් ලැබී ඇති බව Hawk-Eye බලධාරීන් සදහන් කර තිබෙනවා.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය යටතේ Quetta Gladiators කණ්ඩායම හා Islamabad United කණ්ඩායම අතර පැවැති තරගයේ දී රයිලි රොසෝව් නොදැවුණු පිතිකරුවෙකු ලෙස නම් කිරීම තම පාර්ශවයෙන් සිදු වූ වරදක් බව Hawk-Eye බලධාරීන් විසින් පිළිගෙන තිබෙනවා.

ඒ වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනයට යොමු කළ ලිපියක සදහන්ව ඇත්තේ ‘මානව වරදක්’ (human error) හේතුවෙන් රයිලි රොසෝව් නොදැවුණු පිතිකරුවෙකු ලෙස නම් වී ඇති බවයි.

ඊයේ(22) ලාහෝර් හී දී පැවැති අදාළ තරගයේ Gladiators ඉනිමේ 11 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී සල්මන් අලී ආගාගේ පන්දුවක් හමුවේ රයිලි රොසෝව් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය පිතිකරුවෙකු ලෙස විනිසුරු අලීම් ඩාර් විසින් නම් කරනු ලැබුවා.

නමුත්, පසුව රයිලි රොසෝව් විසින් එම තීරණය විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය (review) (DRS) ඔස්සේ අභියෝගයට ලක් කළා.

පුනරූපනවලින් ද අදාළ පන්දුව පිට ඉන්න ප්‍රදේශයේ සිට කඩුල්ල වෙත ඇදී යන ආකාරයක් පැහැදිලිව දැක ගත හැකි වූ නමුත්, Hawk-Eye තාක්ෂණය ඔස්සේ නිරූපනය කෙරුණේ (ball-tracking) පන්දුව පිට ඉන්නෙන් පිටතට ඇදී යන ආකාරයක්. (දර්ශන පහතින්)

ඒ අනුව රයිලි රොසෝව් නොදැවුණු පිතිකරුවෙකු ලෙස නම් කිරීමට සිදු වුණා. එම අවස්ථාවේ දී පන්දු රකින්නන් මෙන්ම විනිසුරුවරයා ද දැඩි ලෙස පුදුමයට පත්ව සිටිනු දැක ගත හැකි වුණා.

මෙම සිදු වීම සම්බන්ධයෙන් තරගයෙන් පසුව Islamabad United කණ්ඩායමේ නායක ශඩාබ් ඛාන් සිය අප්‍රසාදය ද පල කළා. ඒ, තරගයෙන් United කණ්ඩායමට කඩුලු තුනක පරාජයක් අත් වූ පසුබිමකයි.

සිදු වූ වරදින් උපරිම ප්‍රයෝජන ගත් රයිලි රොසෝව් නොදැවී ලකුණු 33 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. අදාළ වැරැදී තීන්දුව ලබා දෙන අවස්ථාවේ දී ඔහු ලබා සිටියේ ලකුණු 13 ක් පමණයි.

අදාළ වරද සම්බන්ධයෙන් අදහස් දක්වමින් Hawk-Eye බලධාරීන් පෙන්වා දී ඇත්තේ සිය පද්ධතිය විසින් නිවැරැදිව පන්දුවේ ගමන් මග නිරීක්ෂණය කර ඇති බවයි. (impact – umpire’s call, wickets – hitting)

නමුත්, ක්‍රියාකරුගේ වරදක් නිසා පන්දුවේ ගමන්මගට වැරැදි දත්ත ලබා දී විකාශය කිරීම හේතුවෙන් වැරැදි තීරණයක් ලැබී ඇති බව Hawk-Eye බලධාරීන් සදහන් කර තිබෙනවා.

පන්දුවේ ගමන්මග නිරීක්ෂණය කිරීම (ball-tracking) සදහා යොදා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) විසින් අනුමත කර ඇති එකම තාක්ෂණය වන්නේ Hawk-Eye තාක්ෂණයයි.

එය 2008 වසරේ සිට විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය (DRS) සදහා යොදා ගනු ලබනවා.

Leave a comment