Ultimate magazine theme for WordPress.

2022 T 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා තරග කාලසටහන තහවුරු වෙයි

2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ B තරගාවලිය අද(17) සිම්බාබ්වේ හි බුලවායෝ ක්‍රීඩාංගනයේ දී නිමා වුණේ තරගාවලියේ ශූරතාවය සිම්බාබ්වේ කණ්ඩායමට හිමි කර දෙමින්.

ඒ, නෙදර්ලන්තය සමග පැවැති අවසන් මහා තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 37 ක ජයක් හිමිවීමත් සමගයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 19.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 132 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තයට පන්දුවාර 18.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 95ක් පමණයි. පන්දු යැවීමේ දී සිකන්ඩ රාසා ලකුණු 8කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

මෙම තරගයෙන් පරාජයට පත්වුව ද නෙදර්ලන්ත කණ්ඩායම ද මෙවර ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබා අවසන්.

2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටය සදහා රටවල් 8ක් ක්‍රීඩා කරන අතර, එම රටවල් කාණ්ඩ දෙකක් යටතේ තරග කිරීමට නියමිතයි.

අද තරගයේ ප්‍රතිපලය අනුව නෙදර්ලන්තය A කාණ්ඩයටත්, සිම්බාබ්වේ කණ්ඩායම B කාණ්ඩයටත් ඇතුළත් වුණා.

ඒ අනුව A කාණ්ඩයට ශ්‍රී ලංකාව, නැමීබියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා නෙදර්ලන්තය යන රටවල් ඇතුළත්ව තිබෙනවා.

B කාණ්ඩයට ඇතුළත් වන්නේ අයර්ලන්තය, ස්කොට්ලන්තය, බටහිර ඉන්දීය කොදෙව් හා සිම්බාබ්වේ යන රටවල්.

එක් කාණ්ඩයකින් ඉදිරියෙන්ම පසුවන රටවල් 2 සුපිරි 12 වටය සදහා සුදුසුකම් ලබනවා.

සුපිරි 12 වටය සදහා ඔස්ට්‍රේලියාව, ඇෆ්ඝනිස්තානය, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය හා දකුණු අප්‍රිකාව යන රටවල් මේ වන විටත් සුදුසුකම් ලබා අවසන්.

20යි 20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ඔක්තෝබර් 16 වැනිදා තරග දෙකක් පැවැත්වෙන අතර, පළමු තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව හා නැමීබියාව අතරයි.

පළමු වටයේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන දෙවැනි තරගය ඔක්තෝබර් 18 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ද, තෙවැනි තරගය ඔක්තෝබර් 20 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව ද පැවැත්වෙනවා.

පළමු වටයේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන සියලු තරග ජීලෝන්ග් හී දී පැවැත්වීමට නියමිතයි.