Ultimate magazine theme for WordPress.

හෝප්-පූරාන්ගේ 216 ක සම්බන්ධතාවය හමුවේ කොදෙව්වන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

Match Report

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියේ 9 වැනි තරගයෙන් නේපාලය පරදා ලකුණු 101 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද(22) සමත් වුණා.

හරාරේ හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නේපාලයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 7 ක් දැවී ලකුණු 339 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාලයට පන්දුවාර 49.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 238 ක් පමණයි.

Aarif Sheikh ලකුණු 63 ක් රැස් කළ අතර, Gulsan Jha ලකුණු 42 යි. Rohit Paudel ලකුණු 30 කටත්, Aasif Sheikh හා Karan KC ලකුණූ 28 බැගින් ලබා සිටියදීත් දැවී ගියා.

පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර් ලකුණු 34 කට කඩුලු 3 ක් දවා ගත්තා. අල්සාරි ජෝසප්, අකීල් හොසෙයින් හා කීමෝ පෝල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් ඉනිමේ තෙවැනි කඩුල්ල ලකුණු 55 දී බිද වැටුණා. අනතුරුව නායක ෂේයි හෝප් හා නිකලස් පූරාන් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 216 (172) ක්.

පූරාන් ලකුණු 3 ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක් කඩුලු රකින ක්‍රීඩකයා අතින් ගිලිහී යාම තරගයේ තීරණයට බෙහෙවින් බලපානු ලැබුවා. පූරාන් මෙම ඉනිමේ දී ලකුණු 115 ක් රැස් කළේ පන්දු 94 කින්. හයේ පහර 4 ක් හා හතරේ පහර 10 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

හෝප් පන්දු 129 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 132 ක්. හයේ පහර 3කින් හා හතරේ පහර 10 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

පන්දු යැවීමේ දී Lalit Rajbanshi ලකුණු 52 කට කඩුලු 3 ක් දවා ගත්තා.

කොදෙව්වන් මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 4 ක් ලබා A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට මේ වන විට සමත්ව තිබෙනවා.

නේපාලය ක්‍රීඩා කළ තරග තුනෙන් ඔවුන් ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණයි. නේපාලයට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයයි.