සමරවීරට වසර 20ක ක්‍රිකට් තහනමක් දුන්නේ ඇයි?

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන දුලිප් සමරවීරට එරෙහිව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් වසර 20 ක ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.
ඒ අනුව එම කාලය තුළ දී ඔහුට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තුළ, ප්‍රාන්ත ක්‍රිකට් සංගම් තුළ මෙන්ම බිග් බෑෂ් ලීග් හා කාන්තා බිග් බෑෂ් ලීග් කණ්ඩායම්වල තනතුරු දැරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
52 හැවිරිදි ඔහු වික්ටෝරියා ක්‍රිකට් සමග කටයුතු කළ කාලයේ දී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ චර්යාධර්ම සංග්‍රහය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවට විමර්ශනවලින් අනාවරණය වීම හේතුවෙනුයි ඔහුට මෙම තහනම පනවා ඇත්තේ.
වික්ටෝරියා කාන්තා කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු වන සමරවීර එම කණ්ඩායම සමග පිතිකරණ පුහුණුකරුවෙකු ලෙස පළමු වරට එක් වූයේ 2008 වසරේ දී යි.
2023 වසරේ නොවැම්බර් මාසයේ දී ඔහු එම කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස පත් කෙරුණු අතර, පසුගිය මැයි මාසයේ දී ඔහු ප්‍රධාන පුහුණුකරු ලෙස ස්ථීර වශයෙන් පත් කෙරුණා.
නමුත්, වැඩ භාර ගැනීමෙන් සති දෙකකට පසුව දුලිප් සමරවීර එම ධූරයෙන් ඉල්ලා අස්වුණා. ඒ, ඔහුගේ සහෝදරයා වන ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක තිලාන් සමරවීර සහාය පුහුණුකරුවෙකු ලෙස බදවා ගැනීමට ඔහු ගත් උත්සාහයක් ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රතිපත්ති හේතුවෙන් ඉටු කර ගැනීමට නොහැකි වීම හේතුවෙන්.
කෙසේ වෙතත්, ඔහුට එරෙහිව තහනමක් පනවා ඇත්තේ ඊට අදාළ සිදුවීමක් පදනම් කර ගනිමින් නොවන බව සදහන්. චර්යාධර්ම සංග්‍රහයේ 2.23 වගන්තිය උල්ලංඝනය කරමින් ඔහු දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රීඩිකාවකට එරෙහිව නුසුදුසු හැසිරීමක නිරතව ඇති බවට තහවුරු වී ඇති බැවින් මෙම තහනම පැනවීමටයි පියවර ගෙන ඇත්තේ.
දුලිප් සමරවීර 1993 හා 1994 වසරවලදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරග හතක් හා එක්දින තරග පහක් ක්‍රීඩා කර තිබුණා.