සටනකින් පසු රාහුල්-ජඩේජා ශතක සම්බන්ධතාවය ඉන්දියාවට කඩුලු 5ක ජයක් ගෙනෙයි
Match Report
ඔස්ට්‍රේලියාව සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (17) සමත් වුණා.
මුල්පෙල පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය පසුබිමක තරගය ජය ගැනීම සදහා ලකුණු 189 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව පන්දුවාර 39.5 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කේ.එල් රාහුල් නොදැවී රැස් කළ ලකුණු 75 න් ශක්තිමත් වෙමින්.
පන්දු 91 කින් වාර්තා වූ රාහුල්ගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 7 ක් ඇතුළත්. රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 45(69) ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා අතර 6 වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 108 (123) ක්.
ඉන්දීය ඉනිමේ සිව්වැනි කඩුල්ල ලකුණු 39 දී බිද වැටුණු අතර, අනතුරුව රාහුල් හා නායක හර්ඩික් පාන්ඩ්යා පස්වැනි කඩුල්ලට ලකුණු 44 (55) ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට සමත් වුණා. පාන්ඩ්යා ලකුණු 25 කට දැවී ගියා. පෞද්ගලික හේතුවක් මත රෝහිත් ෂර්මා මෙම තරගයට ක්‍රීඩා නොකළ බැවිනුයි හර්ඩික් පාන්ඩ්යා ඉන්දීය කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස කටයුතු කළේ.
ආරම්භක පිතිකරු ඉෂාන් කිෂන්ගේ කඩුල්ල ලකුණු 3 කට දවා ගැනීමට මර්කස් ස්ටොයිනිස් සමත් වූ අතර, විරාත් කෝලි ලකුණු 4කටත්, සූර්යකුමාර් යාදව් පළමු පන්දුවෙන් ලකුණු නොලබා සිටියදීත් පිට පිට පන්දු දෙකකදී දවා ගැනීමට මිචෙල් ස්ටක් සමත් වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තු ඔස්ට්‍රේලියාවට ද විවෘත කරමින්. කෙසේ වෙතත්, රාහුල් – ජඩේජා ශතක සබදතාවය එම බලාපොරොත්තු ඔස්ට්‍රේලියාවෙන් උදුරා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් කඩුලු 3 ක් ද, මර්කස් ස්ටොයිනිස් කඩුලු 2 ක් ද බිද හෙලුවා.
මුම්බායි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 188 ක් පමණක් රැස් කළේ මොහමඩ් ෂාමි ලකුණු 17 කට කඩුලු 3 ක් හා මොහමඩ් සිරාජ් ලකුණු 29 කට කඩුලු 3 ක් බිද හෙලමින් දැක් වූ සුපිරි පන්දු යැවීම හමුවේයි.
ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් ලකුණු 5 කට දැවී ගිය නමුත්, ඔහු සමග ඉනිම ආරම්භ කළ මිචෙල් මාෂ් ඉන්දීය පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළා. පන්දු 65 කින් ඔහු වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 81 ක්. හයේ පහර 5 ක් හා හතරේ පහර 10 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.
නායක ස්ටීවන් ස්මිත් ලකුණු 22 යි. ඔවුන් දෙදෙනා අතර ලකුණු 72 (63) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. මිචෙල් මාෂ් හා මර්නස් ලබුෂේන් අතර ද තෙවැනි කඩුල්ල සදහා ලකුණු 52 (43) ක සබදතාවයක් ගොඩ නැගුණ නමුත්, මාෂ්ගේ දැවී යාමත් සමග වෙනත් කිසිදු පිතිකරුවෙකු සාර්ථක ඉනිමක් ගොඩ නැගීමට සමත් වූයේ නැහැ.
ලබුෂේන් ලකුණු 15 කටත්, ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 26 කටත් දැවී ගියා. කැමරන් ග්‍රීන් ලකුණු 12 කට දැවී ගියේ මොහමඩ් ෂාමිගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්. ග්ලේන් මැක්ස්වෙල් ලබා ගත්තේ ලකුණු 8ක් පමණයි. මර්කස් ස්ටොයිනිස් ලකුණු 5 යි.