Ultimate magazine theme for WordPress.

සචිත්‍ර සේනානායකට ඇප

ක්‍රීඩකයින් දෙදෙනෙකුව තරග පාවාදීමකට පොළඹවා ගැනීමට උත්සාහ කළ බවට එල්ල වූ චෝදනා හේතුවෙන් පසුගිය 6 වැනිදා අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට අද(25) ඇප නියම කෙරුණා. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රුපියල් 5,000,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප නියම කිරීම සිදු කර තිබෙනවා.

සචිත්‍ර සේනානායකගේ විදෙස් ගමන් තහනම් කරමින් මීට පෙර නිකුත් කළ නියෝගය ද තවදුරටත් බලපැවැත්වෙනවා. ලබන දෙසැම්බර් 12 වැනිදා ඔහු යළි අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි.

2020 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී සචිත්‍ර සේනානායක විසින් ක්‍රීඩකයින් දෙදෙනෙකු තරග පාවාදීමට පොළඹවා ගැනීම සදහා අදාළ ක්‍රීඩකයින් දෙදෙනාට ඩුබායි සිට දුරකතන ඇමතුම් ලබා දී තිබූ බවට චෝදනා එල්ල වුණා.

ඒ සම්බන්ධයෙන් එම ක්‍රීඩකයින් දෙදෙනා බළධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර තිබූ අතර, ඒ අනුවයි ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය මේ පිළිබද පරීක්ෂණ ආරම්භ කළේ.

38 හැවිරිදි සේනානායක ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගයක්, එක්දින තරග 49 ක් හා 20යි 20 තරග 24 ක් ක්‍රීඩා කර තිබෙනවා.