Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් සමග SA20 ක්‍රීඩක වෙන්දේසිය ඇරඹීමට සියල්ල සූදානම්

දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත නවතම පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන SA20 (එස් ඒ ට්වෙන්ටි) තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදුදා (19) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කේප් ටවුන් හී දී පැවැත්වීමට නියමිත වෙන්දේසිය සදහා රටවල් 18 කින් ලියාපදිංචි වූ ක්‍රීඩකයින් 533 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉන් 248 දෙනෙකු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් වනවා.

තරගාවලිය ක්‍රීඩා කරන්නේ කොහොමද? කවදදා? කොහේද?

කණ්ඩායම් 6 ක් තරගාවලිය සදහා ක්‍රීඩා කරන අතර, එම සියලු කණ්ඩායම්වල හිමිකාරීත්වය දරනු ලබන්නේ ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම්වල හිමිකරුවන් විසින්.

MI Cape Town, Durban Super Giants, Johannesburg Super Kings, Paarl Royals, Pretoria Capitals හා Sunrisers Eastern Cape යනුවෙන් කණ්ඩායම් 6 නම් කර තිබෙනවා.

තරගාවලිය ජනවාරි හා පෙබරවාරි මාසවලදී පැවැත්වීමට නියමිත අතර, Cape Town, Durban, Johannesburg, Paarl, Pretoria හා Gqeberha යන නගරවලදී තරග පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට අයත් සියලු තරග සංඛ්‍යාව 33ක්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත 20යි 20 ජාත්‍යන්තර ලීගය ද ජනවාරි හා පෙබරවාරි මාසවලදී පැවැත්වීමට නියමිත අතර, බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් හා බිග් බෑෂ් ලීග් යන තරගාවලි සමග ද SA20 තරගාවලියේ දින ගට්ඨනයකට ලක් වනු ඇති. කෙසේ වෙතත් තරගාවලියේ තරග කාලසටහන මෙතෙක් නිවේදනය කර නැහැ.

ක්‍රීඩකයින් මිලදී ගත හැකි ආකාරය

එක් කණ්ඩායමකට උපරිමය ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් සකස් කර ගත හැකියි. මේ වන විටත් කණ්ඩායම් 6 විසින් ක්‍රීඩකයින් 23 දෙනෙකු සමග ගිවිසුම්ගත වී තිබෙනවා. වෙන්දේසියට පෙර සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 5 දෙනෙකු සමග ගිවිසුම්ගත වීමට අවස්ථාව ලබා දී තිබුණා. කෙසේ වෙතත්, ඇතැම් කණ්ඩායම් ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග පමණක් ගිවිසුම්ගත වූ අතර, ඇතැම් කණ්ඩායම් ක්‍රීඩකයින් 5 දෙනෙකු සමගම ද ගිවිසුම්ගත වුණා.

එම ක්‍රීඩකයින් පස් දෙනා අතරට විදෙස් ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත් කර ගත හැකි වූ අතර, දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග ද ගිවිසුම්ගත වීමට අවසර හිමිව තිබුණා. එම දේශීය ක්‍රීඩකයින්ගෙන් එක් අයෙකු මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොගත් අයෙකු ද විය යුතුයි.

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මේ වන විටත් ජොහැනස්බර්ග් සුපර් කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

වෙන්දේසියට පෙර මිලදී ගත් ක්‍රීඩක ලැයිස්තුව –

  • MI Cape Town: Kagiso Rabada, Dewald Brevis, Liam Livingstone, Rashid Khan, Sam Curran
  • Durban Super Giants: Quinton de Kock, Prenelan Subrayen, Reece Toppley, Jason Holder, Kyle Mayers
  • Johannesburg Super Kings: Faf du Plessis, Gerald Coetzee, Maheesh Theekshana, Romario Shepherd, Moeen ali
  • Pretoria Capitals: Anrich Nortje, Migael Pretorius
  • SunRisers Eastern Cape: Aiden Markram, Ottniel Baartman
  • Paarl Royals: David Miller, Corbin Bosch, Jos Buttler, Obed McCoy

කණ්ඩායමක් සතු මුදල් ප්‍රමාණය කීයද?

විදෙස් ක්‍රීඩකයින් 7 දෙනෙකු සමග ගිවිසුම්ගත වීමට සෑම කණ්ඩායමකටම අවසර පවතිනවා. සෙසු ක්‍රීඩකයින් 10 දෙනා දේශීය ක්‍රීඩකයින් විය යුතුයි.

කොදෙව් දූපත්හි ජයිඩන් සීල්ස් හා ඔඩියන් ස්මිත් දකුණු අප්‍රිකානු රැන්ඩ් 1,750,000 ක (රුපියල් කෝටි 3.6ක් පමණ) මූලික වටිනාකමක් යටතේ වෙන්දේසිය වෙනුවෙන් ලියාපදිංචි වී තිබෙනවා.

චාමික කරුණාරත්න, ඔයින් මෝර්ගන්, අඩිල් රෂීඩ්, ජේසන් රෝයි, ටිමාල් මිල්ස්, ඩේවිඩ් විලී හා ජිමී නීෂම් යන ක්‍රීඩකයින් දෙවැනි ඉහළම මූලික වටිනාකමක් හිමි කාණ්ඩය වන රැන්ඩ් 1,700,000 ක (රුපියල් කෝටි 3.5 ක පමණ) වටිනාකමක් යටතේ ලියාපදිංචි වීමටයි පියවර ගෙන ඇත්තේ.

රැන්ඩ් 850,000 ක (රුපියල් කෝටි 1.7 ක් පමණ) වටිනාකමක් හිමි කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන ධනංජය ද සිල්වා, චරිත් අසලංක හා පැතුම් නිස්සංක ලියාපදිංචි වී තිබෙනවා.

ක්‍රීඩකයින් මිලදී ගැනීම සදහා එක් කණ්ඩායමකට වියදම් කළ හැකි උපරිම මුදල් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 2 ක්.

සියලු කණ්ඩායම් මේ වන විටත් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු සමග ගිවිසුම්ගත වී ඇති බැවින්, එම ක්‍රීඩකයින් වෙනුවෙන් වියදම් කළ මුදල හැර ඉතිරිව ඇති මුදල් ප්‍රමාණය සදුදා පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේ දී වියදම් කිරීමට සියලු කණ්ඩායම් වෙත අවස්ථාව පවතිනවා.

දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය මීට පෙර අවස්ථා කිහිපයකදී ම 20යි 20 ලීග් තරගාවලියක් පවත්වා ගෙන යාමට උත්සාහ කළ නමුත්, ඒවා සාර්ථකත්වයට පත් වූයේ නැහැ.

ඒ අනුව මෙම තරගාවලිය කෙසේ හෝ සාර්ථක කර ගැනීමට දකුණු අප්‍රිකාව දැඩි උත්සාහයක නිරත වන අතර, ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිතව තිබූ අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයට අයත් එක්දින තරග 3ක් ද අවලංගු කිරීමට දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේ මෙම තරගාවලියේ සාර්ථකත්වය ළගා කර ගැනීමේ අරමුණින්.