Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා කණ්ඩායමට නව නායකයින් තිදෙනෙක් පත් වන ලකුණු

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

ඒ අනුව තරග රටා ත්‍රිත්වය සදහා වෙන වෙනම නායකයින් තිදෙනෙකු පත් කිරීමටයි උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇත්තේ.

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නිත්‍ය නායක ලෙස දසුන් ශානක කටයුතු කළ නමුත්, නිමා වූ ලෝක කුසලාන තරගාවලියේ පළමු තරග දෙකෙන් පසුව ඔහුට ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

අනතුරුව කුසල් මෙන්ඩිස් එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ලෝක කුසලාන තරගාවලියේ දී කටයුතු කළ අතර, ඔහු ඉදිරියටත් එම තරග රටාවේ නිත්‍ය නායකයා ලෙස පත් කිරීමට ඉඩ ඇති බව සදහන්.

එක්දින කණ්ඩායමේ හා 20යි 20 කණ්ඩායමේ උප නායකත්වය චරිත් අසලංකට හිමි වීමට ඉඩ පවතිනවා.

20යි 20 කණ්ඩායමේ නව නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග පත් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ශූරතාවය දිනූ බී-ලව් කැන්ඩි කණ්ඩායමේ නායකයා ලෙස ද ඔහු කටයුතු කළ අතර, තරගාවලියේ දී තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට ඔහු සමත් වුණා.

මේ අතර, ටෙස්ට් කණ්ඩායමේ නව නායකයා ලෙස ධනංජය ද සිල්වා ද, උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් ද පත් කිරීමට තේරීම් කමිටුව සලකා බලමින් සිටින බව සදහන්.

මේ වන විට ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ දිමුත් කරුණාරත්නයි. ඔහු නායකත්වයෙන් ඉවත් වීමට ද මීට පෙර තීරණය කර තිබූ නමුත්, පැවැති තේරීම් කමිටුවේ ඉල්ලීම මත ඔහු තවදුරටත් එම ධූරයේ කටයුතු කළා.

නව නායකයින් පත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී තවදුරටත් සාකච්ඡා කර තේරීම් කමිටුව අවසන් තීන්දු තීරණවලට එළඹෙනු ඇති.

සිම්බාබ්වේ කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා වන එක්දින හා 20යි 20 සංචිත ද ලබන සතියේ දී නම් කිරීමට නියමිතව ඇති අතර, එහිදී නායකත්වය සම්බන්ධයෙන් ද අවසන් තීරණයක් ගැනීමට ඉඩ පවතිනවා.

Leave a comment