Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාව හමුවේ ලැබූ පරාජයෙන් පසු මොමිනුල් ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස් වෙයි

බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක මොමිනුල් හක් නායකත්වයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-0ක් ලෙස පරාජයට පත් වූ පසුබිමකයි.

මොමිනුල් එරට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් වුණේ 2019 වසරේ ඔක්තෝබර් මාසයේ දී යි.

මොමිනුල් හක්ගේ නායකත්වය යටතේ බංග්ලාදේශය ටෙස්ට් තරග 12ක් පරාජයට පත් වුණා. ජය ගත්තේ තරග 3ක් පමණයි. තරග දෙකක් ජය පරාජයෙන් තොරව නිමා වුණා.

නායකයෙකු ලෙස සාර්ථක වීමට ඔහුට නොහැකි වූවා පමණක් නොව පිතිකරුවෙකු ලෙස ද කණ්ඩායමට ඔහුගෙන් ලද දායකත්වය එතරම් ඉහළ මට්ටමක පසුගිය කාලයේ දී පැවතුණේ නැහැ.

අවසන් ඉනිම් 15 තුළ දී ඔහු රැස් කර ඇත්තේ ලකුණු 176ක් පමණයි. ඉනිමක සාමාන්‍ය සටහන්ව ඇත්තේ 12.57 ක් වශයෙන්.

අවසන් ඉනිම් 7 තුළ දී මොමිනුල්ට ලකුණු 10 සීමාව පසු කර යාමට ද හැකියාවක් ලැබුණේ නැහැ.

ඔහු බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා ලෙස ටෙස්ට් තරග 17ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී ලකුණු 912 ක් වාර්තා කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් පසුව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසාන් හා මොමිනුල් හක් අතර සාකච්ඡාවක් පසුගියදා පවත්වා තිබූ අතර, එහිදී සභාපතිවරයා විසින් මොමිනුල් හක්ට සිය නායකත්වයේ අනාගතය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ නිදහස මොමිනුල් හක් වෙතම ලබා දී තිබුණා.

ඒ, නායකත්වයේ වගකීම ඔහුගේ පෞද්ගලික දක්ෂතා සදහා ද බලපා ඇති බවට නිරීක්ෂණය වූ බැවින්.

අද දිනයේ දී මොමිනුල් හක් එරට ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට සදහන් කර ඇත්තේ තමා තවදුරටත් නායකත්වයේ රැදී සිටීම සුදුසු නොවන බවයි.

“නායකයෙකු ලෙස කණ්ඩායමට දායක වීමට මට නොහැකි බවත්, කණ්ඩායම දිරිමත් කිරීමට අපොහොසත් වූ බවත් මම ඔවුන්ට කිව්වා.” යනුවෙන් මොමිනුල් හක් මාධ්‍ය වෙත සදහන් කළා.

“ඉතින් මට හිතෙනවා අලුත් කෙනෙක්ට වගකීම භර දුන්නොත් හොඳයි කියලා. මම එයාලට කිව්වා (මගේ හිතට එන දේ) දැන් ඒක තීරණය කරන්න ඕන එයාලා.”

“ඔබ හොදින් ක්‍රීඩා කරනවානම්, කණ්ඩායම ජයග්‍රහන නොලැබුවත්, ඔවුන්ව දිරිමත් කිරිමට සුදුසු තැනක ඔබ ඉන්නවා. මට හිතෙනවා මම ලකුණු ලබා නොගන්නා විට හා කණ්ඩායම ජයග්‍රහන නොලබන විට කණ්ඩායමක නායකත්වය දැරීම දුෂ්කරයි කියලා. මම හිතන්නේ නායකත්වයෙන් ඉවත් වෙන එක තමයි හොඳම දේ.”