Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාව සමග සුදුසුකම් ලැබීමේ තරගාවලියට අමෙරිකාවත් සුදුසුකම් ලබයි

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට (Cricket World Cup 2023 Qualifier) සුදුසුකම් ලබා ගැනීමට අමෙරිකා එක්සත් ජනපදය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමත් වුණා.

ඒ, නැමීබියාවේ දී මේ දිනවල පැවැත්වෙන Qualifier Playoff තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක තහවුරු කර ගැනීමට සමත් වීමත් සමගයි.

අමෙරිකාව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැදී සිටින්නේ ක්‍රීඩා කළ තරග පහෙන් තරග 4 ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 8 ක් හිමි කර ගනිමින්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය මේ වන විට තරග 4කට ක්‍රීඩා කර තරග 3ක් ජය ගෙන ප්‍රසාද ලකුණු 6 ක් සමගින් දෙවැනි ස්ථානයේ පසුවනවා.

නැමීබියාව මේ වන විට තරග පහම ක්‍රීඩා කර තරග 3 ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 6ක් ලබා තෙවැනි ස්ථානයේ පසුවන අතර, කැනඩාව තරග 4කදී තරග 2ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 4ක් ලබා සිව්වැනි ස්ථානයේ රැදී සිටිනවා. ජර්සි කණ්ඩායම පස්වැනි ස්ථානයේ රැදී සිටින අතර, පැපුවා නිව් ගිනියාව අවසන් ස්ථානයේ පසුවනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය මීළග තරගය පරාජයට පත් වුවහොත්, මේ වන විට ඔවුන් ලබා සිටින ප්‍රසාද ලකුණු 6 හා සම මට්ටමක රැදී සිටිමින් නැමීබියාවට හා කැනඩාවට ද Qualifier Playoff තරගාවලිය අවසන් කිරීමේ අවස්ථාව පවතිනවා. නමුත්, එම රටවල් දෙකම එක්සත් අරාබි එමීර් රාජ්‍ය හමුවේ මෙම තරගාවලියේ දී මීට පෙර පරාජයට පත් වූ බැවිනුයි එක්සත් අරාබි එමීර් රාජ්‍යට වඩා පහළ ස්ථානයක් හිමි කර ගනිමින් තරගාවලිය අවසන් කිරීමට නැමීබියාවට හා කැනඩාවට සිදුව ඇත්තේ.

ඒ අනුව නැමීබියාව, කැනඩාව, ජර්සි හා පැපුවා නිව් ගිනියාව යන රටවලට 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ අවස්ථාව මේ වන විට අහිමි වී තිබෙනවා.

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට (Cricket World Cup 2023 Qualifier) රටවල් 10 ක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, එම තරගාවලියට මේ වන විට රටවල් 9ක් සුදුසුකම් ලබා අවසන්.

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 8 හිමි කර ගන්නා කණ්ඩායම් ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබන අතර, පසුපසින් රැදී සිටින සෙසු රටවල් 5 (8 සිට 13 දක්වා ස්ථාන හිමි කර ගන්නා) ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.

සුපර් ලීගයේ අවසන් ස්ථාන පහෙන් ස්ථාන 4 ක් ම මේ වන විට තහවුරු වී ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, නෙදර්ලන්තය හා සිම්බාබ්වේ යන රටවල්වලට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදුව තිබෙනවා. අයර්ලන්තය හෝ දකුණු අප්‍රිකාව යන රටවල් දෙකෙන් එක් රටක් ද සුදුසකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත අතර, අනෙක් රට ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

ලෝක කුසලාන දෙවන ලීගයේ ( World Cup League 2) පෙරමුණේ පසු වූ රටවල් තුන වන නේපාලය, ඕමානය හා ස්කොට්ලන්තය ද ලෝක කුසලානයේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට මේ වන විටත් සුදුසුකම් ලබා තිබෙනවා.

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජූනි 18 වැනිදා සිට සිම්බාබ්වේ හී දී පැවැත්වීමට නියමිත අතර, එම තරගාවලියේ පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් දෙකයි ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතව ඇත්තේ.

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට මේ වන විට සුදුසුකම් ලබා ඇති රටවල් – 

  1. අමෙරිකා එක්සත් ජනපදය (Qualifier Playoff තරගාවලියේ පළමු ස්ථාන 2)
  2. එක්සත් අරාබි එමීර් රාජ්‍යය (Qualifier Playoff තරගාවලියේ පළමු ස්ථාන 2)
  3. නේපාලය (ලෝක කුසලාන දෙවන ලීගයේ පළමු ස්ථාන 3)
  4. ඕමානය (ලෝක කුසලාන දෙවන ලීගයේ පළමු ස්ථාන 3)
  5. ස්කොට්ලන්තය (ලෝක කුසලාන දෙවන ලීගයේ පළමු ස්ථාන 3)
  6. ශ්‍රී ලංකාව (සුපර් ලීගයේ අවසන් ස්ථාන 5)
  7. බටහිර ඉන්දීය කොදෙව් (සුපර් ලීගයේ අවසන් ස්ථාන 5)
  8. නෙදර්ලන්තය (සුපර් ලීගයේ අවසන් ස්ථාන 5)
  9. සිම්බාබ්වේ (සුපර් ලීගයේ අවසන් ස්ථාන 5)
  10. අයර්ලන්තය හෝ දකුණු අප්‍රිකාව (සුපර් ලීගයේ අවසන් ස්ථාන 5)
Leave a comment