Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් ගැළවීමේ දැවැන්ත සටනක

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි (19).

වෙලින්ටන් හි Basin Reserve ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය අද දිනයට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 26 ක් ලබා සිටි අතර, ශ්‍රී ලංකා පිලේ සියලු දෙනා ලකුණු 164 කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

අද දිනයේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 4කටත්, ඇන්ජෙලෝ මැතිව්ස් එක් ලකුණකටත් දැවී ගියා. දිනේෂ් චන්දිමාල් ලකුණු 37 ක් ලබා සිටියදී දැවී ගිය අතර, ධනංජය ද සිල්වාට ලකුණු රැස් කිරීමට හැකි වූයේ නැහැ. මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන නිශාන් මදුෂ්ක ලකුණු 19 යි.

හුදෙකලා සටනක නිරත වූ නායක දිමුත් කරුණාරත්න ලකුණු 89 ක් ලබා ගත්තා. පන්දු 188 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 9ක් ඇතුළත් වුණා. අනෙක් අන්තයේ කඩුලු ඉක්මනින් බිද වැටෙමින් තිබියදී එල්ල වූ පීඩනයත් සමග වේගයෙන් ලකුණු රැස් කිරීමට ගත් උත්සාහයකදීයි දිමුත් අවාසනාවන්ත ලෙස දැවී ගියේ.

පන්දු යැවීමේ දී මැට් හෙන්රි හා මයිකල් බ්‍රේස්වෙල් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සිය දෙවැනි ඉනිම ද ක්‍රීඩා කරමින් සිටින අතර, ඒ අනුව ඉනිමක පරාජයෙන් ගැළවීමටනම් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමේ දී ලකුණු 416 ක් ලබා ගත යුතුයි.

Leave a comment