ශ්‍රී ලංකාවේ පවත්වන ICC වාර්ෂික සමුළුව ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) වාර්ෂික සමුළුව ලබන 19 වැනිදා සිට 22 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(15) තහවුරු කළා.
ලොව පුරා එනම්, අප්‍රිකාව, ඇමෙරිකාව, ආසියාව, නැගෙනහිර ආසියා පැසිෆික් හා යුරෝපය යන කලාප නියෝජනය කරන අයි.සී.සී සාමාජිකත්වය සහිත රටවල් 108 ක නියෝජිතයින් 220 දෙනෙකුට වඩා වැඩි පිරිසක් මෙම සමුළුව සදහා එක්වීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ලොව පුරා සිටින ක්‍රිකට් පරිපාලකයින්ගේ සහ පාර්ශවකරුවන්ගේ උසස්ම රැස්වීම වන ICC වාර්ෂික සමුළුව ක්‍රීඩාවේ උපාය මාර්ගික දිශානතිය, පාලනය සහ ලොව පුරා ක්‍රිකට් සංවර්ධනය පිළිබඳ සාකච්ඡා සිදු කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කරනු ලබනවා.
“ඔලිම්පික් අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම” යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වෙන බව සදහන්.
වාර්ෂික සමුළුවට ප්‍රධාන රැස්වීම් කිහිපයක් මෙන්ම වැඩමුළු ද පැවැත්වීමට නියමිතව ඇති අතර, ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් වැදගත් තීරණ රැසක් ද මෙහිදී ගැනීමට නියමිතයි.