Ultimate magazine theme for WordPress.

ලෝක කුසලානයට යන්න ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ, නෙදර්ලන්තය හා ස්කොට්ලන්තය කළ යුතු දේ

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් තරග කිහිපය මේ දිනවල දී පැවැත්වෙනවා.

සිම්බාබ්වේ හී දී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පළමු ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම් පමණක් ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබන අතර, මේ වන විටත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හා ඕමාන කණ්ඩායමට එම අවස්ථාව අහිමි වී තිබෙනවා.

සෙසු කණ්ඩායම් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට සිදු කළ යුතු වන්නේ කුමක් ද? මේ, ඒ පිළිබද විමසා බැලීමක්.

වත්මන් ප්‍රසාද ලකුණු සටහන –

[team_standings 47779]

 

ශ්‍රී ලංකාව

  • තරග 3 යි, ප්‍රසාද ලකුණු 6 යි, (NRR 1.832) ; ඉතිරි තරග : සිම්බාබ්වේ, කොදෙව්

අද(2) පැවැත්වෙන තරගයේ දී සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත් කළහොත් ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම අවසන් තරගයට සුදුසුකම් ලබමින් ලෝක කුසලාන තරගාවලිය සදහා ද සුදුසුකම් ලබා ගන්නවා.

අද තරගය ජයගතහොත් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 8 ක් හිමිවන අතර, එම ලකුණු ප්‍රමාණය ලබා ගත හැකි සෙසු රටවල් වන්නේ සිම්බාබ්වේ හෝ ස්කොට්ලන්තය පමණයි. එම රටවල් දෙකටම ප්‍රසාද ලකුණු 8 ක් හිමි කර ගත නොහැකි වන්නේ සිම්බාබ්වේ හා ස්කොට්ලන්තය අතර තරගයක් ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව ඇති බැවින්.

ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ පිල හමුවේ පරාජයට පත්වුව ද කොදෙව්වන්ට එරෙහිව පැවැත්වෙන මීළග තරගයෙන් ශ්‍රී ලංකාව ජයගතහොත් ද ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබා ගැනීමේ ඉහළ අවස්ථාවක් පවතිනවා. එවැනි අවස්ථාවක සිම්බාබ්වේ හා ස්කොට්ලන්තයට ද ප්‍රසාද ලකුණු 8 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව හා සම වීමේ අවස්ථාවක් පවතින නමුත්, ශ්‍රී ලංකාවේ ශුද්ධ ලකුණු වේගය (NRR) ඉහළ මට්ටමක පවතින බැවින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ වැඩි අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි වනු ඇති.

ශ්‍රී ලංකාව අද තරගය හා කොදෙව්වන්ට එරෙහි තරගය පරාජයට පත්වුවහොත් ඔවුන්ට ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වීමේ අවධානමක් පවතිනවා. ඒ, ස්කොට්ලන්තයට හා සිම්බාබ්වේ කණ්ඩායමට ප්‍රසාද ලකුණු 8 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව අභිබවා යාමට හැකියාව පවතින බැවින්.

සිම්බාබ්වේ

  • තරග 3 යි, ප්‍රසාද ලකුණු 6 යි, (NRR 0.752) ; ඉතිරි තරග : ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය

සිම්බාබ්වේ කණ්ඩායම අද තරගය ජයගත්ත ද, මීළග තරගයෙන් ස්කොට්ලන්තය හමුවේ ඔවුන් පරාජයට පත්වුවහොත් හා ස්කොට්ලන්තය විසින් නෙදර්ලන්ත කණ්ඩායම ද පරාජයට පත්කළහොත් සිම්බාබ්වේ හා ස්කොට්ලන්තය ප්‍රසාද ලකුණු 8 බැගින් ලබා සම මට්ටමක පසුවනු ඇති. එමෙන්ම ශ්‍රී ලංකාව විසින් ද කොදෙව්වන් පරාජයට පත්කළහොත් ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු ප්‍රමාණය ද 8 දක්වා ඉහළ යනවා. එවැනි අවස්ථාවක ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ඉදිරියෙන් පසුවන කණ්ඩායම් දෙක අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

ශ්‍රී ලංකාව හමුවේ සිම්බාබ්වේ කණ්ඩායම අද පරාජයට පත්වුවහොත් ඔවුන්ට ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමටනම් මීළග තරගයෙන් ස්කොට්ලන්තය පරාජයට පත් කිරීම පමණක් ප්‍රමාණවත් වනවා.

ඔවුන් ශ්‍රී ලංකාව හා ස්කොට්ලන්තය සමග පැවැත්වෙන තරග දෙකම පරාජයට පත්වුවහොත් හා ස්කොට්ලන්තය විසින් නෙදර්ලන්තය ද පරාජයට පත් කළහොත් සිම්බාබ්වේ කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමට නොහැකි වනවා.

එවැනි අවස්ථාවක ශ්‍රී ලංකාව හා ස්කොට්ලන්තය ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබනු ඇති.

ස්කෝට්ලන්තය

  • තරග 3 යි, ප්‍රසාද ලකුණු 4 යි, (NRR 0.188) ; ඉතිරි තරග : සිම්බාබ්වේ, නෙදර්ලන්තය

ස්කොට්ලන්තය මීළග තරග දෙකම ජයගතහොත් හා අද තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත්වුවහොත් ස්කොට්ලන්තය ප්‍රසාද ලකුණු 8ක් ලබා ගනිමින් සිම්බාබ්වේ අභිබවා අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්නවා.

සිම්බාබ්වේ කණ්ඩායම අද තරගය ජයගතහොත් හා ස්කොට්ලන්තය මීළග තරග දෙකම ජයගතහොත් එම රටවල් දෙක ප්‍රසාද ලකුණු 8 බැගින් ලබා සම මට්ටමකට පත් වනවා. එසේවුවහොත් ශුද්ධ ලකුණු වේගය මත පදනම්ව ලෝක කුසලානයට සුදුසුකම් ලබන රට තෝරා ගනු ඇති.

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරගය ස්කොට්ලන්තය අනිවාර්යයෙන්ම ජයගත යුතු අතර, එම තරගයෙන් පරාජයට පත්ව නෙදර්ලන්තයට එරෙහි තරගය ස්කොට්ලන්තය ජයගතහොත් ඔවුන්ට හිමිවන්නේ ප්‍රසාද ලකුණු 6 ක් පමණයි. එසේ වුවහොත් සිම්බාබ්වේ පිල අවසන් තරගයට සුදුසුකම් ලබන අතර, ශ්‍රී ලංකාව ඉතිරි තරග දෙකම පරාජයට පත්වුවද, ඉහළ ශුද්ධ ලකුණු වේගයක් පවත්වා ගෙන යන බැවින් ශ්‍රී ලංකාව අවසන් තරගයට සුදුසුකම් ලැබීමට වැඩි ඉඩක් පවතිනවා.

නෙදර්ලන්තය

  • තරග 3 යි, ප්‍රසාද ලකුණු 2 යි, (NRR -0.560) ; ඉතිරි තරග : ඕමානය, ස්කොට්ලන්තය

නෙදර්ලන්ත කණ්ඩායම මීළග තරග දෙකම ඉහළ පරතරයක් සහිතව ජය ගැනීම අනිවාර්යය වනවා. එමෙන්ම අනෙකුත් තරග ප්‍රතිපල ද ඔවුන්ට වාසි සහගත ලෙස ලැබිය යුතුයි.

අද තරගයෙන් සිම්බාබ්වේ පරාජය කරමින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සුදුසුකම් ලබා, දෙවැනි ස්ථානය වෙනුවෙන් සිම්බාබ්වේ හා ස්කොට්ලන්තය සමග තරග කිරීම ඔවුන්ට අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ඇති ප්‍රධානම මාර්ගයයි.

එහිදී සිම්බාබ්වේ කණ්ඩායම ඉහළ පරතරයකින් අද තරගය හා ස්කොට්ලන්තයට එරෙහි තරගය පරාජයට පත් විය යුතු අතර, නෙදර්ලන්තය ඉදිරි තරග දෙකම ඉහළ පරතරයකින් ජයගතහොත් නෙදර්ලන්තයට අවසන් තරගයට සුදුසුකම් ලැබීමට යම් අවස්ථාවක් හිමි වන්නේ නෙදර්ලන්තය, ස්කොට්ලන්තය හා සිම්බාව්වේ යන රටවල් තුනේම ප්‍රසාද ලකුණු ප්‍රමාණය 6 ක් ලෙස සම වන බැවින්. ඒ අනුව ශුද්ධ ලකුණු වේගය අනුව නෙදර්ලන්ත කණ්ඩායම සිම්බාබ්වේ හා ස්කොට්ලන්තයට වඩා ඉදිරියෙන් පසුවුවහොත් ඔවුන්ට අවසන් තරගයට සුදුසුකම් ලැබිය හැකියි.

Leave a comment