Ultimate magazine theme for WordPress.

රටවල් 15 ක් දැනටමත් සුදුසුකම් ලබා ඇති 2024 T20 ලෝක කුසලානය පැවැත්වෙන දින මෙන්න

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජූනි 4 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩිවිය වාර්තා කර තිබෙනවා. කෙසේ වෙතත්, ජගත් ක්‍රිකට් කවුන්සලය තරගාවලිය පැවැත්වෙන දින සම්බන්ධයෙන් මෙතෙක් නිවේදනය කර නැහැ.

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිත තරගාවලිය ක්‍රීඩාංගන 10 කදී පැවැත්වෙනු ඇති බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

අයි.සී.සී නිළධාරී කණ්ඩායමක් විසින් තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇති ඇමෙරිකාවේ ක්‍රීඩාංගන කිහිපයක් මෙම සතියේ දී පරීක්ෂා කර ඇති බව ද සදහන්.

මේ වන විටත් ජාත්‍යන්තර තරග පවත්වා ඇති Florida හි Lauderhill මෙන්ම Morrisville, Dallas හා New York යන ප්‍රදේශවල තරග පැවැත්වීමටයි මේ වන විට සැලසුම් කර ඇත්තේ.

Morrisville හා Dallas හී දී මේ වන විට පැවැත්වෙන මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පවත්වනු ලබනවා.

Dallas හි Grand Prairie ක්‍රීඩාංගනය, Morrisville හි Church Street Park ක්‍රීඩාංගනය හා New York හි Van Cortlandt Park ක්‍රීඩාංගනයට මෙතෙක් ජාත්‍යන්තර තරග පැවැත්වීම සදහා අනුමැතිය හිමිව නැහැ.

තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගන සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ඉදිරි මාස කිහිපයේ දී බටහිර ඉන්දීය කොදෙව් හා ඇමෙරිකානු ක්‍රිකට් ආයතන සමග සාකච්ඡා කර අවසන් තීන්දු ලබා ගනු ඇති.

රටවල් 20 ක් ක්‍රීඩා කිරීමට නියමිත 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා මේ වන විට රටවල් 15 ක් සුදුසුකම් ලබා අවසන්.

ඇමෙරිකාව හා කොදෙව්වන් ලබන වසරේ පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ගත්තේ ඔවුන් තරගාවලියේ සත්කාරක රටවල් බැවිනුයි.

2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියෙන්ම පසු වූ රටවල් 8 වන ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නෙදර්ලන්තය, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව ද 2024 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ගත්තා.

එම තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබූ අනෙක් රටවල් දෙක වූයේ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම පසු වූ සෙසු රටවල් දෙක වන ඇෆ්ඝනිස්තානය හා බංග්ලාදේශයයි.

පසුගිය 27 වනදා අයර්ලන්තය හා ස්කොට්ලන්තය යන රටවල් ද 20යි 20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේ යුරෝපා කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය හරහායි.

එමෙන්ම ඊයේ(28) දිනයේ දී පැපුවා නිව් ගිනියාව ද ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගත්තා. ඒ, නැගෙනහිර ආසියා-පැසිෆික් කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පළමු ස්ථානය තහවුරු කර ගැනීමත් සමගයි.

ආසියානු, අප්‍රිකානු හා ඇමෙරිකානු කලාපවලින් තවත් රටවල් 5 ක් ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

Leave a comment