මෙය මාගේ අවසන් T20 ලෝක කුසලානයයි : බෝල්ට්

මේ වන විට තමන් ක්‍රීඩා කරමින් සිටින්නේ සිය අවසන් විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බව නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් පවසනවා.
ට්‍රිනිඩෑඩ්හී දී උගන්ඩාව පරදා නවසීලන්තය කඩුලු 9ක ජයක් වාර්තා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.
34 හැවිරිදි බෝල්ට් මේ වන විට නවසීලන්තය වෙනුවෙන් විස්සයි 20 ජාත්‍යන්තර තරග 60 ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී දවා ගෙන ඇති කඩුලු ගණන 81 ක්.
ඔහු 2014 හා 2021 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියන්හී දී නවසීලන්තය වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නා ද වුණා.
ට්‍රෙන්ට් බෝල්ට් නවසීලන්ත ක්‍රිකට් ආයතනය සමග අත්සන් තබා තිබූ මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුමෙන් 2022 වසරේ දී ඉවත් වීමට තීරණය කළ නමුත්, ඔහු 2022 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී මෙන්ම 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී ද නවසීලන්තය නියෝජනය කළා.
මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී තරග දෙකක් පරාජයට පත් වීමත් සමග නවසීලන්තයට පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති අතර, 2014 වසරෙන් පසුව පළමු වරටයි සීමිත පන්දුවාර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසීමට නවසීලන්තයට මෙලෙස නොහැකි වුණේ.
ඒ අනුව එළඹෙන 17 වැනිදා පැපුවා නිව් ගිනියාවට එරෙහිව නවසීලන්තය ක්‍රීඩා කරන තරගය ට්‍රෙන්ට් බෝල්ට් විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියකදී නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් තරගය වනු ඇති.