Ultimate magazine theme for WordPress.

අයි.සී.සී මාසයේ ක්‍රීඩිකාව සම්මානය චමරිට

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මැයි මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

ස්කොට්ලන්ත නායිකා Kathryn Bryce හා එංගලන්තයේ Sophie Ecclestone ද මෙම සම්මානය සදහා මෙවර නිර්දේශ කර තිබුණා.

අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරි විසින් දිනා ගත් දෙවැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. ඇය මීට පෙර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ද මෙම සම්මානයෙන් පිදුම් ලැබුවා.

කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය ලෙස 34 හැවිරිදි ඇය එම තරගාවලිය නිමා කිරීම හේතුවෙනුයි මෙම සම්මානයෙන් චමරි යළිත් පිදුම් ලැබුවේ.

එම තරගාවලියේ දී ඉනිම් හයකදී ඇය රැස් කළ ලකුණු සංඛ්‍යාව 226 ක්. ඉනිමක සාමාන්‍ය සටහන්ව තිබුණේ 45.20 ලෙසයි.

මැයි මාසයේ දී පමණක් චමරි අතපත්තු ලකුණු 151 ක් රැස් කළා. ඒ, 37.75 ක ඉනිමක සාමාන්‍යක් සහිතවයි. ඊට අමතරව ඇය පන්දු යැවීමෙන් දවා ගත් කඩුලු ගණන 6 ක්.