Ultimate magazine theme for WordPress.

මතීෂගේ සුපිරි පන්දු යැවීම හා වනිදුගේ ප්‍රහාරය ශ්‍රී ලංකාවට තියුණු ජයක් හිමි කර දෙයි

Match Report

මතීෂ පතිරණ ප්‍රමුුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හා වනිදු හසරංගගේ වේගවත් ඉනිම හමුවේ ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(17) සමත් වුණා.

දඹුල්ල ක්‍රීඩාංගනයේ පැවැති පළමු ජාත්‍යන්තර 20යි 20 තරගය වූ මෙම තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකාවෙන් ලද ලකුණු 161 ක ඉලක්කය හඹා ගිය ඇෆ්ඝනිස්තානයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 156 ක් පමණයි.

පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 25 කට සීමා කරමින් රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 13 කට දැවී ගිය අතර, ගුල්බදීන් නයිබ් ලකුණු 16කට දැවී ගියා. අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු දෙකකටත්, මොහමඩ් නබී ලකුණු 9කටත්, නජිබුල්ලාහ් සඩ්‍රාන් ලකුණු නොලබාත් දැවී ගියේ ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීම පිළිබද බලාපොරොත්තුවක් එක්කරමින්.

නායකත්වයේ වගකීම කරට ගත් ආරම්භක පිතිකරු ඊබ්‍රහීම් සඩ්‍රාන් පන්දු 55 කින් නොදැවී ලකුණු 67 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත්, එය සාර්ථක වූයේ නැහැ. හතරේ පහර 8 ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.

කරීම් ජනට් ලකුණු 20කට දැවී ගිය අතර, කායිස් අහ්මඩ් ලකුණු 7කටත්‍, නූර් අහ්මඩ් ලකුණු 9කටත්, නවීන් උල් හක් එක් ලකුණකට දැවී ගියා.

තරගයේ අවසන් පන්දුවාර දෙක තුළ දී ඇෆ්ඝනිස්තානයට ජයග්‍රහනය සදහා අවශ්‍යව තිබුණේ ලකුණු 14 ක් පමණයි. කෙසේ වෙතත්, 19 වැනි පන්දුවාරයේ දී ලකුණු 3ක් පමණක් ලබා දෙමින් කඩුලු 2ක් දවා ගත් මතීෂ පතිරණ ශ්‍රී ලංකාව යළි සටනට අවතීර්ණ කළා. අවසන් පන්දුවාරය යොමු කළ බිනුර ප්‍රනාන්දු එම පන්දුවාරයේ දී ආරක්ෂා කර ගත යුතු වූ ලකුණු 11 ආරක්ෂා කර දෙමින් තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි කර දුන්නා.

පන්දු යැවීමේ දී මතීෂ පතිරණ ලකුණු 24 කට කඩුලු 4 ක් දවා ගත් අතර, දසුන් ශානක කඩුලු දෙකක් බිද හෙලුවා. (මතීෂ දවා ගත් කඩුලු පහතින් නරඹන්න)

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 160 ක් ලබා ගත්තේ පන්දුවාර 19 ක් අවසානයේ දී යි.

පැතුම් නිස්සංක ලකුණු හයකටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 10කටත්, ධනංජය ද සිල්වා ලකුණු 24 කටත් දැවී ගියා. චරිත් අසලංක රැස් කළේ ලකුණු තුනක් පමණයි.

පන්දුවාර 7.2 ක් අවසානයේ ලකුණු 55 කට කඩුලු 4ක් දැවී ගිය අවස්ථාවක සධීර සමරවික්‍රම සමගින් පිටියේ එක් වූ නායක වනිදු හසරංග 5 වැනි කඩුල්ල සදහා ලකුණු 72 (40) ක වේගවත් සම්බන්ධතාවයක් ගොඩ නැගීමට සමත් වුණා.

සධීර ලකුණු 25 කට දුවද්දී දැවී යාමත් සමග එම සම්බන්ධතාවය බිද වැටුණු අතර, වනිදු හසරංග පන්දු 32 කින් ලකුණු 67 ක් ලබා ගැනීමට සමත් වුණා. හයේ පහර 3ක් හා හතරේ පහර 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඇන්ජෙලෝ මැතිව්ස් හා දසුන් ශානක ලකුණු 6 බැගින් ලබා සිටියදී දැවී ගියා. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු හය ලකුණු 33 ක් තුළ දැවී ගියා.

පන්දු යැවීමේ දී ෆසල්හක් ෆරූකි ලකුණු 25 කට කඩුලු 3 ක් දවා ගත් අතර, නවීන් උල් හක් හා අස්මතුල්ලාහ් ඔමර්සායි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Leave a comment