බවුමාට අවසන් එක්දින තරගය අහිමි වෙයි – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියත් අවධානමේ

දකුණු අප්‍රිකා නායක ටෙම්බා බවුමාට අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඒ, ඔහුගේ වම් වැලමිටෙහි හටගෙන ඇති ආබාධයක් හේතුවෙන්.
34 හැවිරිදි ඔහු මෙම ආබාධයට මුහුණ දුන්නේ දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගයේ දී පිතිකරණයේ නිරතව සිටින අතරතුර ලකුණු 35 ක් ලබා සිටියදීයි. අනතුරුව ඔහු පිටියෙත් ඉවත් වීමට තීරණය කළ අතර, ආබාධය නිසා ඔහුට පන්දු රැකීමට ද හැකියාවක් ලැබුණේ නැහැ.
ආබාධය හේතුවෙන් බවුමාට ඔක්තෝබර් 21 වැනිදා ආරම්භ වීමට නියමිත බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලිය ද අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.
බවුමා වෙනුවට රීසා හෙන්ඩ්‍රික්ස් අයර්ලන්තයට එරෙහි එක්දින සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ටෙම්බා බවුමා නොමැති වීම නිසා තෙවැනි තරගයේ දී කණ්ඩායමේ නායකත්වය දැරීමේ වගකීම පැවරී ඇත්තේ රසී වැන් ඩර් ඩසන්ටයි.
පෞද්ගලික හේතුවක් මත තුන් ඉරියව් ක්‍රීඩක වියාන් මෝල්ඩර් ද යළි දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.