බංග්ලාදේශ A පරදා සුපිරි ජයක් සමග ඉන්දියාව අවසන් මහා තරගයට
Match Report
නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් බංග්ලාදේශ A කණ්ඩායම පරදා ලකුණු 51 ක සුපිරි ජයක් වාර්තා කරමින් ඉන්දීය A කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයට අද(21) සුදුසුකම් ලබා ගත්තා.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම එළඹෙන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයේ දී පාකිස්තාන A කණ්ඩායම සමගින් තරග වැදීමට නියමිතයි. එම තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස අද පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 49.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 211 ක් ලබා ගත්තා.
නායක Yash Dhull ලකුණු 66 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Mahedi Hasan, Tanzim Hasan Sakib, Rakibul Hasan කඩුලු 2 බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 34.2 ක් අවසානයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 160 ක් පමණයි.
ඒ, ආරම්භක කඩුල්ල සදහා ලකුණු 70 ක විශිෂ්ඨ සම්බන්ධතාවයක් ගොඩ නැගුණු පසුබිමකයි. ආරම්භක පිතිකරුවන් වූ Tanzid Hasan ලකුණු 51 ක් හා Mohammad Naim ලකුණු 38 ක් රැස් කළා.
පන්දු යැවීමේ දී Nishant Sindhu ලකුණු 20 කට කඩුලු 5 ක් ද, Manav Suthar ලකුණු 32 කට කඩුලු 3 ක් ද දවා ගත්තා.