පැතුම්ගේ සුපිරි ශතකය හමුවේ එංගලන්තය පරදා වසර 10 කට පසු ශ්‍රී ලංකාවට ටෙස්ට් ජයක්
Match Report

පැතුම් නිස්සංක වාර්තා කළ සිය දෙවැනි ටෙස්ට් ශතකය හමුවේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව වසර 10 කට පසුව ටෙස්ට් ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(9) සමත් වුණා.
ඒ, දෙරට අතර පැවැති තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයෙන් එංගලන්තය පරදා කඩුලු අටක ජයක් වාර්තා කරමින්. කෙසේ වෙතත්, ටෙස්ට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත්තේ එංගලන්තයයි.
ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා දෙවැනි ඉනිමේ දී ලකුණු 219 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව තරගයේ සිව්වැනි දිනය වූ අද දිනයේ දී කඩුලු දෙකක් දැවී සිටියදී ජයග්‍රහනය තහවුරු කර ගත්තා.
දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව කඩුල්ලක් දැවී ලකුණු 94 ක් ලබා සිටි අතර, දිනයේ පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 39(37) කට දැවී ගියා. පැතුම් හා කුසල් අතර දෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 69 ක්.
අනතුරුව පැතුම් නිස්සංක හා ඇන්ජෙලෝ මැතිව්ස් තෙවැනි කඩුල්ලට නොබිදුණු ලකුණු 111 ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකාවට සුපිරි ජයක් හිමි කර දුන්නා.
පැතුම් නොදැවී ලකුණු 127 (124) ක් රැස් කළේ හයේ පහර 2 ක් හා හතරේ පහර 13 ක් සමගින්. මැතිව්ස් නොදැවී ලකුණු 32 යි.
මෙම ජයත් සමග ශ්‍රී ලංකාව වාර්තා කළ ලකුණු 219 ඉතිහාසගත වුණේ එංගලන්තයේ දී සිව්වැනි ඉනිමේ දී ආසියානු කණ්ඩායමක් තරගයක් ජය ගැනීම සදහා සාර්ථක ලෙස හඹා ගිය ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
එමෙන්ම අද ලැබූ ජයග්‍රහනය ශ්‍රී ලංකාව එංගලන්තයේ දී ලැබූ සිව්වැනි ටෙස්ට් තරග ජය ලෙස ද ඉතිහාසයට එක් වුණා.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 325 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව රැස් කළේ ලකුණු 263 ක් පමණයි. අනතුරුව එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 156 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.
අවසන් තරගයේ වීරයා ලෙස පැතුම් නිස්සංක ද, තරගාවලියේ වීරයා ලෙස ජෝ රූට් ද සම්මානයෙන් පිදුම් ලැබුවා.
තරගයේ අවසන් පන්දුවේ දර්ශන පහතින් නරඹන්න –