පාකිස්තාන කණ්ඩායමේ නව නායකයා නිවේදනය කෙරේ

පාකිස්තාන සීමිත පන්දුවාර කණ්ඩායමේ නව නායකයා ලෙස හිටපු නායක බාබර් අසාම් පත් කර තිබෙනවා.
පාකිස්තාන ක්රිකට් ආයතනය සදහන් කළේ තේරීම් කමිටුවේ නිර්දේශ මත පාකිස්තාන ක්රිකට් ආයතනයේ සභාපති Mohsin Naqvi විසින් ඔහුව මෙලෙස සුදු පන්දු කණ්ඩායමේ (එක්දින හා විස්සයි 20) නායකයා ලෙස පත් කළ බවයි.
ඒ අනුව එක් විස්සයි 20 තරගාවලියකදී පමණක් පාකිස්තාන කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ශහීන් ශාහ් අෆ්රිඩිට ඔහුගේ නායකත්ව ධූරය අහිමි වී තිබෙනවා.
මෙම නව පත් කිරීමෙන් පසුව බාබර් අසාම්ගේ නායකත්වය යටතේ පාකිස්තානය ක්රීඩා කරන පළමු තරගාවලිය වන්නේ ලබන මාසයේ දී නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් විස්සයි 20 තරගාවලියයි.
2023 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ දී පාකිස්තාන කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වීමත් සමග පසුගිය නොවැම්බර් මාසයේ දී පාකිස්තාන කණ්ඩායමේ නායකත්වයෙන් (තරග රටා තුනේම) ඉවත් වීමට බාබර් අසාම් තීරණය කළා.
අනතුරුව විස්සයි 20 කණ්ඩායමේ නායකයා ලෙස ශහීන් ශාහ් අෆ්රිඩි ද, ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ශාන් මසූඩ් ද පත් කෙරුණා. එක්දින කණ්ඩායම සදහා කිසිදු නායකයෙකු ස්ථීර ලෙස පත් කෙරුණේ නැහැ.
බාබර් අසාම්ගේ ඉවත් වීමෙන් පසුව අෆ්රිඩි නවසීලන්තයට එරෙහි තරග 5කින් යුත් විස්සයි 20 තරගාවලියේ දී කණ්ඩායම මෙහෙය වූ නමුත්, එම තරගාවලියෙන් පාකිස්තානය තරග 4-1 ක් ලෙස පරාජයට පත් වුණා.