ප්‍රවේශ පත්‍ර ආදායම ජනතාව වෙනුවෙන් ක්‍රීඩා ඇමතිට භාර දෙනවා – SLC

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරගවල ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් ලැබෙන සම්පූර්ණ ආදායම මෙරට ජනතාවගේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ඒ අනුව එම සියලු ආදායම ජනතාව වෙනුවෙන් කටයුතු කිරීම උදෙසා ක්‍රීඩා අමාත්‍යවරයාට ලබා දෙන බවයි ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා සදහන් කළේ.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය පිළිබද දැනුවත් කිරීම සදහා අද(6) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව කියා සිටියා.
අන්තර්ජාලය ඔස්සේ මේ වන විට ප්‍රවේශ පත්‍ර 14,000ක් අලෙවි වී ඇති බවයි මොහාන් ද සිල්වා මහතා මෙහිදී පෙන්වා දුන්නේ.
මේ අතර, මෙම තරග සංචාරය තුළින් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ආදායමක් හිමි වන බව ද ලේකම්වරයා අනාවණය කළා.
එළඹෙන ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ද කොළඹ දී පැවැත්වීමට තවමත් සැලසුම් කරමින් සිටින බව ද මෙම මාධ්‍ය හමුවේ දී අනාවරණය කෙරුණා.
එමෙන්ම ඔස්ට්‍රේලියානු තරගාවලිය නිමා වීමත් සමගම පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලිය ජූලි මැද භාගයේ දී ආරම්භ කිරීමට මේ වන විට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් සදහන් කළා.
කොළඹ දී හා ගාල්ලේ දී තරග දෙකකින් යුත් එම ටෙස්ට් තරගාවලිය පැවැත්වීමටයි මේ වන විට අවධානය යොමු කර ඇත්තේ.
මේ අතර, ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් ලැබෙන ආදායම ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කළා.
එම මාධ්‍ය නිවේදනය පහතින් –
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන සියලුම ආදායම් රට තුළ ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය තීරණය කර තිබේ.
තරගාවලියේ ආරම්භයට පෙර ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද (06 දා) පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා මහතා අවධාරණය කරමින් සඳහන් කර සිටියේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන සම්පූර්ණ මුදල් මහජනතාව වෙනුවෙන් පරිත්‍යාග කර සිටීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව තීරණය කළ බවයි.
“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිතුමා, ශම්මි සිල්වා මහතා අපි සමඟ සාකච්ඡා කරලා මේ ප්‍රවේශපත්‍රවලින් ලැබෙන සම්පූර්ණ ආදායම අපේ ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් ලබා දෙන්න තීරණය කළා. මේ ආදායමෙන් ලැබෙන සියලුම මුදල් අපි ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලබා දීමට කටයුතු කරනවා. මේ තරගාවලිය සාර්ථක කර ගැනීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යතුමා අපිට ලොකු සහයෝගයක් ලබා දෙනවා ” යැයි මොහාන් ද සිල්වා මහතා සදහන් කර සිටියේය.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් සිදුකරන ලද ඉල්ලීමක් සලකා බලමින් ඉහත තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ගෙන තිබේ.
මේ තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විතරක් නොවෙයි. මුළු රටටම වැදගත් වෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ආර්ථික තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ඩොලර් මිලියන දෙකහමාරක් විතර ආදායමක් මේ තරගාවලිය හරහා අපිට ලැබෙනවා. ඒ මුදල් ඔක්කොම රට තුළ තමයි පරිහරණය වෙන්නේ” යැයි මොහාන් ද සිල්වා මහතා වැඩිදුරත් සඳහන් කර සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් පසුව මෙම පුවත යාවත්කාලීන කරන ලදී