Ultimate magazine theme for WordPress.

ප්‍රබලයින් දෙදෙනෙකුට අවසන් T20 තරගය අහිමි වෙයි

නවසීලන්ත ආරම්භක පිතිකරු ඩෙවෝන් කොන්වේට හා ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ට දෙරට අතර පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් විස්සයි 20 ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔවුන් දෙදෙනා මුහුණ දී ඇති ආබාධ තත්ත්වයන් හේතුවෙන්.

දෙරට අතර පැවැති දෙවැනි විස්සයි 20 තරගයේ දී කඩුලු රකිමින් සිටියදීයි ඩෙවෝන් කොන්වේ ආබාධයකට ලක් වුණේ. ඇඩම් මිල්න් යොමු කළ පන්දුවක් රැක ගැනීමට යාමේ දී පන්දුව වම් අතෙහි වැදීමෙන් මෙම ආබාධය සිදු වුණා.

අදාළ ආබාධය නිසා ඔහුට දෙවැනි විස්සයි 20 තරගයේ දී පිතිකරණයේ නිරත වීමේ අවස්ථාව ද අහිමි වුණා.

මූලික වෛද්‍ය පරීක්ෂණවලදී (X-rays) ඔහුගේ අතෙහි අස්ථි බිදී යාමක් සිදුව ඇති බවක් හදුනා ගෙන තිබුණේ නැහැ. කෙසේ වෙතත්, කොන්වේ තවදුරටත් වෛද්‍ය පරීක්ෂණ සදහා මුහුණ දීමට නියමිතයි.

කොන්වේ වෙනුවට ටිම් සයිෆර්ට් අවසන් විස්සයි 20 තරගය සදහා වන නවසීලන්ත සංචිතයට ආදේශ කර තිබෙනවා.

එමෙන්ම වේග පන්දු යවන ක්‍රීඩක ජෙකොබ් ඩෆී ද සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

වම් දණහිසේ ආබාධයකට ලක්ව සිටින රචින් රවීන්ද්‍රට ද අවසන් විස්සයි 20 තරගය සදහා ක්‍රීඩා කළ හැකිදැයි මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නැහැ.

මේ අතර, ආබාධයකට ලක්ව සිටින ඩේවිඩ් වෝනර්ට දින 10 කට ආසන්න කාලයක් විවේක ගැනීමට සිදුව ඇති බව සදහන්.

ඒ අනුව ඔහුට ගැටලුවකින් තොරව එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩා කිරිමට හැකි වනු ඇති. වෝනර් නවසීලන්තයට එරෙහි දෙවැනි විස්සයි 20 තරගය සදහා ද ක්‍රීඩා කළේ නැහැ.

නවසීලන්ත-ඔස්ට්‍රේලියා තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලිය මේ වන විටත් තරග 2-0 ක් ලෙස ඔස්ට්‍රේලියාව ජය ගෙන අවසන්ව ඇති අතර, අවසන් තරගය හෙට(25) ඔක්ලන්ඩ් හී දී පැවැත්වීමට නියමිතයි.