Ultimate magazine theme for WordPress.

පන්දුවාර 59 ක් ක්‍රියාත්මක වූ පළමු දිනයේ ගෞරව රාහුල්ට හා රබාඩාට

Day 1 Report

සංචාරක ඉන්දීය කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(26) සෙන්චූරියන් හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන් අතර, අයහපත් ආලෝක තත්ත්වය හා වර්ෂාවෙන් සිදු වූ බලපෑම හමුවේ අද දිනයේ දී ක්‍රියාත්මක වූයේ පන්දුවාර 59 ක් පමණයි.

දිනය නිමා වන විට ඉන්දියාව කඩුලු 8ක් දැවී ලකුණු 208 ක් ලබා සිටියා. තේ පානයෙන් පසුව පන්දුවාර 9ක් පමණක් යොමු කිරීමෙන් පසුව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් තරගය අද දිනයට නතර කිරීමටයි තීරණය කෙරුණේ.

ඉන්දීය ඉනිමේ ගැළවුම්කරු බවට පත්ව සිටින කේ එල් රාහුල් නොදැවී ලකුණු 70 ක් ලබා කඩුල්ලේ රැදී සිටින්නේ හයේ පහර දෙකක් හා හතරේ පහර 10 ක් සමගින්. මොහමඩ් සිරාජ් තවමත් ලකුණු ලබා ගැනීම ආරම්භ කර නැහැ.

ඉනිමේ පළමු කඩුලු තුන ලකුණු 24 ක් තුළ බිද වැටුණේ දිනයේ පළමු සැසියේ දී ම තරගයේ පාලනය දකුණු අප්‍රිකාවට හිමි කර දෙමින්. ‌රෝහිත් ෂර්මා ලකුණු 5කටත්, යශස්වි ජයිස්වාල් ලකුණු 17කටත්, ෂුබ්මන් ගිල් ලකුණු දෙකකටත් දැවී ගියා.

අනතුරුව විරාත් කෝලි හා ෂ්රෙයස් අයියර් ලබා දුන් උඩ පන්දු දෙකක් දකුණු අප්‍රිකා පන්දු රකින්නන් අතින් ගිලිහී ගිය අතර, ඉන් ප්‍රයෝජන ගත් ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ලට ලකුණු 68 (95) ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට සමත් වුණා.

එම උඩ පන්දු දෙක ලබා දෙන විට ඔවුන් දෙදෙනාම ලබා සිටියේ ලකුණු 4 බැගින්. දිවා ආහාරයෙන් පසුව යොමු කෙරුණු පළමු පන්දුවාරයේ දී ම අයියර් ලකුණු 31 කට දැවී ගියා. කෝලි ලබා ගත් ලකුණු සංඛ්‍යාව 38 ක්.

රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 8කට දැවී ගිය අතර, ශර්දුල් තාකූර් ලකුණු 24 ක් ලබා ගත්තා. ජස්ප්‍රිට් බුම්රා රැස් කළේ එක් ලකුණක් පමණයි.

පන්දු යැවීමේ දී ඉන්දීය පිතිකරුවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ කාගිසෝ රබාඩා ලකුණු 44 කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා. සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන නන්ඩ්‍රි බර්ගර් කඩුලු දෙකක් දවා ගත් අතර, මර්කෝ ජන්සෙන් එක් කඩුල්ලක් බිද හෙලුවා.

මේ අතර, අද දිනයේ දී පන්දු රකිමින් සිටියදී නායක ටෙම්බා බවුමා පාදයක ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහුට මෙම තරගය සදහා යළි ක්‍රීඩා කිරීමට නොහැකි වීමේ අවධානමක් ද මතුව තිබෙනවා.

ඉන්දීය ඉනිමේ 20 වැනි පන්දුවාරයේ දී ඔහු එම ආබාධයට මුහුණ දුන්නා. පසුව ටෙම්බා බවුමා වෛද්‍ය පරීක්ෂණ සදහා ද යොමු කර තිබුණා.