Ultimate magazine theme for WordPress.

නේපාලය ඇතුළු රටවල් 3ක් ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට සෘජුව සුදුසුකම් ලබයි

අයි.සී.සී පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන දෙවන ලීගයේ 140 වැනි තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පරදා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 9ක ජයක් වාර්තා කරමින් 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට (Qualifier) සෘජුව සුදුසුකම් ලැබීමට නේපාලය අද(16) සමත් වුණා.

නේපාලයේ කිර්තිපූර් හී දී පැවැති තරගයෙන් නේපාලය ලැබූ ජයත් සමග ඔවුන් දෙවන ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය හිමි කර ගත්තේ තරග 36 කින් ජයග්‍රහන 19 ක් ලබා ප්‍රසාද ලකුණු 40 ක් හිමි කර ගනිමින්.

ස්කොට්ලන්තය ප්‍රසාද ලකුණු 50 ක් සමගින් පළමු ස්ථානයත්, ඕමානය ප්‍රසාද ලකුණු 44 ක් සමගින් දෙවැනි ස්ථානයත් හිමි කර ගනිමින් ලෝක කුසලාන තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබුවා.

කෙසේ වෙතත්, දෙවන ලීගයේ සිව්වැනි, පස්වැනි, 6 වැනි හා 7 වැනි ස්ථාන හිමි වූ නැමීබියාව, අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා පැපුවා නිව් ගිනියාව යන රටවල් සුදුසුකම් ලැබීමේ තරගාවලියට සෘජුව සුදුසුකම් නොලැබූ අතර, ඔවුන්ට Qualifier Playoff තරගාවලියට ජර්සි හා කැනඩාව සමග ක්‍රීඩා කිරීමට සිදු වනවා.

Qualifier Playoff තරගාවලියේ පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් දෙක ද ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සුදුසුකම් ලැබීමට නියමිතයි.

අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ අවසන් ස්ථාන 5 හිමි කර ගන්නා කණ්ඩායම් ද සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වන අතර, මේ වන විටත් නෙදර්ලන්තය (13 වැනි ස්ථානය) හා සිම්බාබ්වේ (12 වැනි ස්ථානය) යන රටවල් අවසන් ස්ථාන 5 හිමි කර ගැනීම තහවුරු වී ඇති බැවින් ඔවුන්ට සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදුව තිබෙනවා.

ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් හා අයර්ලන්තය යන රටවල් අතරින් එක් රටකට ලෝක කුසලානය සදහා සෘජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව තවදුරටත් විවෘතව පවතින අතර, සෙසු රටවල් තුන සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.

සුදුසුකම් ලැබීමේ තරගාවලිය (Qualifier) ජූනි 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා සිම්බාබ්වේ හී දී පැවැත්වීමට නියමිතයි.

අද පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 310 ක් ලබා ගත්තා. අසිෆ් ඛාන් නොදැවී ලකුණු 101 ක් රැස් කළේ පන්දු 42 කින්. හයේ පහර 11 කින් හා හතරේ පහර 4 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා. ඔහු සිය ශතකය පන්දු 41 කින් වාර්තා කළ අතර, එය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ සිව්වැනි වේගවත්ම ශතකයයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාලය පන්දුවාර 44 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 269 ක් ලබා සිටියදී අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කිරීමට විනිසුරුවන් කටයුතු කළා. ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ඔවුන් ඒ වන විට ජයග්‍රහනය සදහා ලබා ගත යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව 261 ක්. ඒ අනුවයි නේපාලයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 9 ක ජයක් හිමි වුණේ.

තරගය නැරඹීමට අතිවිශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටි අතර, විනිසුරුවන් තරගය නතර කිරීමට තීරණය කිරීමත් සමග යම් උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා. (දර්ශන පහතින්)

Leave a comment