නායකත්වය සමග ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතයට වෙනස්කම් රැසක් – එක්දින නායකත්වයේත් වෙනසක් ?

ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නව නායකයා ලෙස චරිත් අසලංක පත් කිරීමට නියමිතව ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා.
ඒ, නිමා වූ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වූ පසුබිමක හිටපු නායක වනිදු හසරංග සිය තනතුරෙන් පසුගියදා ඉල්ලා අස් වීමට තීරණය කිරීම හේතුවෙන්.
හසරංග ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ මාස හයක පමණ කාලයක් පමණයි. එම කාලයේ දී ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් දැඩි චෝදනා එල්ල වූ අතර, විනය විරෝධී හැසිරීම් හේතුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ඔහුට තරග තහනම් ද පනවනු ලැබුවා.
ඒ අනුව ජූලි 27 වැනිදා සිට ආරම්භ වන ඉන්දීය තරගාවලියේ සිට අසලංක විස්සයි 20 කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස පත් කිරීමටයි තේරීම් කමිටුවේ අවධානය යොමු වී ඇත්තේ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පසුගිය සිකුරාදා දිනයේ දී තේරීම් කමිටු සාමාජිකයින් හා චරිත් අසලංක අතර සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර, එළඹෙන විස්සයි 20 තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා සිදු කර ඇති බව සදහන්.
මේ වන විට එක්දින කණ්ඩායමේ නායකත්වය දරන කුසල් මෙන්ඩිස් වෙනුවට චරිත් අසලංකට එම තරග රටාවේ ද නායකත්වය ලබා දීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.
කුසල් මෙන්ඩිස්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව එක්දින තරගවලදී යම් සාර්ථක ප්‍රතිපල අත්කර ගෙන ඇතත්, ක්‍රීඩකයෙකු ලෙස ඔහුගේ දක්ෂතා අඛණ්ඩව පවත්වා ගැනීමට මෙන්ඩිස් අසමත්ව තිබීම තේරීම් කමිටුව දිගින් දිගටම මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් බවට පත්ව තිබෙනවා.
මේ අතර, ඉන්දියාව සමග ආරම්භ වන විස්සයි 20 තරගාවලිය වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් යළි සංචිතයට කැදවීමට ද ඉඩ ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.
ඒ, ඔහු මේ දිනවල පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම නියෝජනය කරමින් ඉහළ දක්ෂතා දක්වා ඇති පසුබිමකයි. මේ වන විට මෙවර LPL අදියරේ දී ඉනිම් 7ක් ක්‍රීඩා කර ඇති චන්දිමාල් එහිදී ලකුණු 258 ක් රැස් කර ගෙන ඇත්තේ ඉනිමක සාමාන්‍ය 36.85 ක් ලෙස සටහන් කර ගනිමින්. ප්‍රහාරාත්මක වේගය සටහන් වන්නේ 181.69 ක් ලෙසයි.
ඔහුගේ කැදවීමත් සමග නිමා වූ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය දක්වා සංචිතයේ රැදී සිටි ඇන්ජෙලෝ මැතිව්ස්ට විස්සයි 20 සංචිතයේ ස්ථානය අහිමි වීමේ අවධානමක් පවතින බව ද සදහන්.
විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය අහිමි වූ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා යළි ශ්‍රී ලංකා සංචිතයට කැදවීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ. ඔහු මෙවර LPL තරගාවලියේ දී ශතකයක් ද වාර්තා කරමින් යළි ලකුණු අතරට පිවිසීමට සමත් වුණා.
මේ අතර, මෙතෙක් විස්සයි 20 තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ කුසල් මෙන්ඩිස් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ද මේ වන විට දැඩි ලෙස අසාර්ථක වී ඇති බැවින් ඔහු සම්බන්ධයෙන් තේරීම් කමිටුව ගනු ලබන්නේ කුමන තීරණයක් දැයි බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
ඔහු මෙවර LPL තරගාවලියේ දී තරග 7 ක් ක්‍රීඩා කර මෙතෙක් වාර්තා කර ඇත්තේ ලකුණු 89 ක් පමණයි. ඉනිමක සාමාන්‍ය සටහන්ව ඇත්තේ 12.71 ලෙසයි.
ඉන්දීය කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයට විස්සයි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් ඇතුළත්. විස්සයි 20 තරග තුන එළඹෙන 27, 28 හා 30 යන දිනයන්හී දී ද, එක්දින තරග තුන අගෝස්තු 2, 4 හා 7 යන දිනයන්හී දී ද පැවැත්වීමට නියමිතයි.