Ultimate magazine theme for WordPress.

දිමුත් හා වනිදු ඊයේ පිහිටුවූ වාර්තා ගොන්න මෙන්න

දිමුත් කරුණාරත්නගේ හා වනිදු හසරංගගේ සුපිරි දක්ෂතාවලින් ශක්තිමත් වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(25) දිනයේ දී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ 15 වැනි තරගයෙන් අයර්ලන්තය පරදා ලකුණු 133 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සමත් වුණේ සුපිරි 6 වටයේ ස්ථානයක් ද හිමි කර ගනිමින්.

මෙම තරගයේ දී සිය මංගල එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කළ දිමුත් ලකුණු 103 ක් ලබා ගත්තා.

වනිදු යළිත් වරක් කඩුලු 5ක් දවා ගත්තේ මෙම තරගාවලියේ දී අඛණ්ඩව එම කඩඉම පසුකළ තෙවැනි අවස්ථාව සටහන් කරමින්.

මෙම දක්ෂතා නව වාර්තා කිහිපයක් ද අලුත් කිරීමට සමත් වුණා.

දිමුත්ගේ අනර්ඝ ඉනිම

වසර දෙකකට පමණ පසුව මෑතකදී යළි එක්දින කණ්ඩායමට පැමිණි දිමුත් කරුණාරත්න ඊයේ තරගයේ දී සිය එක්දින ලකුණු 1,000 සීමාව පසු කර යාමට සමත් වුණා. මේ වන විට ඉනිම 36 කදී දිමුත් වාර්තා කර ඇති ලකුණු සංඛ්‍යාව 1,095 ක්.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ලකුණු 1,000 ක් වාර්තා කළ 35 වැනි පිතිකරු ලෙසයි ඉතිහාසයට එක් වුණේ.

දිමුත් මෙම තරගයේ දී ලකුණු 50 සීමාව පසු කළේ අඛණ්ඩව එක්දින තරග 5කදී එම දක්ෂතාවය දැක්වීමට සමත් වෙමින්.

ඒ අනුව එලෙස අඛණ්ඩව එක්දින තරග 5කදී ලකුණු 50 සීමාව පසු කළ තෙවැනි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ලෙසයි දිමුත් වාර්තා අතරට එක් වුණේ.

මීට පෙර සනත් ජයසූරිය (1997 වසරේ දී) හා තිලකරත්න ඩිල්ෂාන් (2013 වසරේ දී) එම දක්ෂතාවය දක්වා තිබුණා.

ඊට අමතරව ශ්‍රී ලංකාව වෙනුවෙන් කුමාර් සංගක්කාර 2014 වසරේ දී ද, දිනේෂ් චන්දිමාල් 2016 වසරේ දී ද මෙම දක්ෂතාවය දක්වනු ලැබුවා.

එක්දින ඉතිහාසයේ දී අඛණ්ඩව වැඩිම තරග ප්‍රමාණයකදී ලකුණු 50 සීමාව ඉක්මවා රැස් කර ඇත්තේ පාකිස්තාන හිටපු පිතිකරු ජාවෙඩ් මියැන්ඩාඩ්. ඔහු 1987 වසරේ දී අඛණ්ඩව තරග 9 කදී ලකුණු 50 සීමාව ඉක්මවා රැස් කර තිබුණා.

දිමුත් වාර්තා කළ ශතකය ද නව ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් කළා. ඒ, ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය මංගල එක්දින ශතකය වාර්තා කළ වයසින් වැඩිම පිතිකරු බවට පත් වෙමින්.

මීට පෙර තිලාන් සමරවීර වයස අවුරුදු 32 යි දින 351 දී සිය මංගල එක්දින ශතකය වාර්තා කරමින් එම වාර්තාවට හිමිකම් කියූ අතර, දිමුත් ඊයේ දිනයේ දී සිය මංගල එක්දින ශතකය වාර්තා කරන විට ඔහුගේ වයස අවුරුදු 35 යි දින 65 ක්.

ලෝක එක්දින ඉතිහාසයේ දී සිය මංගල එක්දින ශතකය වාර්තා කළ වයසින් වැඩිම පිතිකරුවන් ලැයිස්තුවේ දිමුත්ට හිමිව ඇත්තේ 15 වැනි ස්ථානයයි.

වනිදුගේ සුපිරි පන්දු යැවීම

වනිදු හසරංග මෙම තරගාවලියේ පළමු තරගයේ දී කඩුලු 6ක් ද, දෙවැනි තරගයේ දී හා තෙවැනි තරගයේ දී කඩුලු 5 බැගින් ද දවා ගැනීමට සමත් වුණේ නව වාර්තාවක් පිහිටුවමින්.

එලෙස අඛණ්ඩව එක්දින තරග 3කදී කඩුලු 5 ක් හෝ ඊට වැඩියෙන් දවා ගත් ලොව පළමු දග පන්දු යවන්නා ලෙසයි වනිදු ඉතිහාසගත වුණේ.

එමෙන්ම එම දක්ෂතාවය දැක් වූ ලොව දෙවැනි ක්‍රීඩකයා වන්නේ ද ඔහුයි.

මීට පෙර පාකිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක වකාර් යුනිස් 1990 වසරේ දී අඛණ්ඩව එක්දින තරග 3කදී කඩුලු 5 බැගින් බිද හෙලා තිබුණා.