දිමුත් එක්දින සංචිතයට කැදවයි
ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සහ 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා නම් කෙරුණු ශ්‍රී ලංකා මුලික සංචිතයට ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.
මුල්පෙල පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ ආබාධ තත්ත්වය තවමත් සම්පූර්ණයෙන් සුව වී නොමැති බැවින් මෙම නම් කිරීමට සිදු කර ඇති බවයි අද දෙරණ වාර්තා කර ඇත්තේ.
කුසල් ජනිත් උරහිසක ආබාධයක් හේතුවෙන් ශල්‍යකර්මයකට ද මුහුණ දී තිබූ අතර, දීර්ඝ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට ඔහුට සිදු වුණා. කෙසේ වෙතත්, මෑතකදී නිමා වූ නවසීලන්ත සංචාරයේ 20යි 20 තරගාවලිය සදහා ඔහු ක්‍රීඩා කරමින් දක්ෂතා දක්වනු ලැබුවා.
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ හිටපු නායකයා ද වන දිමුත් කරුණාරත්න අවසන් වරට එක්දින තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2021 වසරේ මාර්තු මාසයේ දී යි.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන සුදුුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජූනි 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා සිම්බාබ්වේ හී දී පැවැත්වීමට නියමිතයි.
ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මෙරට දී ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ජූනි දෙවැනිදා සිට තරග 3කින් යුත් එක්දින තරගාවලියක් සදහා ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
එම තරගාවලි වෙනුවෙන් නම් කෙරුණු මූලික සංචිතය සදහා කුසල් පෙරේරා, සධීර සමරවික්‍රම හා දුෂ්මන්ත චමීර ද ඇතුළත් කර ඇති බවට වාර්තා වී තිබූ අතර, පා දග පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත හා වේග පන්දු යවන ක්‍රීඩක මතිෂ පතිරණ ද සංචිතය සදහා නම් කර තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් මෙම සංචිතයේ ද ස්ථානයක් හිමි කර ගෙන ඇති අතර, නුවනිදු ප්‍රනාන්දු, අශේන් බණ්ඩාර, ලසිත් කෘෘස්පුල්ලේ, සහන් ආරච්චිගේ, මිලාන් රත්නායක, නුවන් තුෂාර, ලක්ෂාන් සදකැන්, රමේෂ් මෙන්ඩිස් හා ප්‍රවීන් ජයවික්‍රම යන ක්‍රීඩකයින් ද සංචිතයේ ස්ථාන හිමි කර ගෙන ඇති බව සදහන්.