Ultimate magazine theme for WordPress.

‘තුන් ඉරියව්වෙන්ම ගොඩක් වැරැදි කරා’ තීක්ෂණ පරාජයට සියලු හේතු පහදයි

ශ්‍රී ලංකා කණ්ඩායම තුන් ඉරියව්වෙන් ම නිසි දක්ෂතා ප්‍රදර්ශනය නොකිරීම ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පාකිස්තානයට එරෙහිව පැවැති තරගය පරාජයට පත් වීමට බලපෑ බව දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසනවා.

පාකිස්තානය හමුවේ කඩුලු හයක අහිමිරි පරාජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

හයිදරාබාද්හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 345 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය පාකිස්තානය පන්දුවාර 48.2 ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කරමින් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දී කණ්ඩායමක් තරගයක් හඹා ගොස් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද තමන් සතු කර ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ දී ලකුණු 344 ක් ලබා ගත්තේ කඩුලු 9ක් දැවී සිටියදීයි. කුසල් මෙන්ඩිස් හා සධීර සමරවික්‍රම ශතක වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත ලකුණු පුවරුවක් සදහා මග පාදා දුන් නමුත්, ශ්‍රී ලංකාව  අවසන් පන්දුවාර 10 තුළ දී කඩුලු 5 ක් දැවී ලකුණු 61 ක් පමණක් වාර්තා කිරීම මෙම තරගයේ පරාජයට බෙහෙවින් බලපානු ලැබුවා.

එමෙන්ම පන්දු යැවීමේ දී වයිඩ් ලකුණු 25 ක් ශ්‍රී ලංකාව විසින් ලබා දීම ද තරගයේ ප්‍රතිපලයට බලපෑවා. පන්දු රැකීමේ අංශයෙන් ද දුර්වලතා සිදු වනු දක්නට ලැබුණා. ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් රැක ගැනීමට තිබූ උඩ පන්දු කිහිපයක් ගිලිහී යාම පාකිස්තානයේ ජය පහසු කළා.

තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් තීක්ෂණ කියා සිටියේ පිතිකරණයේ දී ශ්‍රී ලංකා පිල ලකුණු 370 ක් පමණ ලබා තිබුණේ නම් මෙම තරගයෙන් ශ්‍රී ලංකාවට ජය ගැනීමට මනා අවස්ථාවක් පැවැති බවයි.

“දිගටම අපි තරග දින්නේ පන්දු යවලා. ලොකු වෙනසක් තියෙනවා තණතීරුවල අපි ලංකාවේ සෙල්ලම් කරපු ඒවයි, අපි මෙහෙ ඇවිල්ලා ගහන ඒවයි. මෙහෙ තණතීරුවල හැමතිස්සෙම ලයින් ඇන්ඩ් ලෙන්ත් මිස් වුණොත් අනිවාර්යයෙන්ම බවුන්ඩ්‍රියක් යනවා. ලංකාවේ තියෙන සමහර තණතීරු ස්ලෝ, කැපෙනවා. එතකොට කොට බෝලයක් දැම්මත් ස්පිනර් කෙනෙක් වුණාම බේරෙන්න පුලුවන් මොකද විකට් එක ස්ලෝ වුණොත් කැපුනා.” යනුවෙන් තීක්ෂණ සදහන් කළා.

“මෙහෙ ඇවිල්ලා බෝලයක් හරියට දැම්මෙ නැත්තම් අනිවාර්යයන්ම බවුන්ඩ්‍රියක් යනවා. ගොඩක් යන්නේ වැඩි ලකුණු වාර්තාවන තරග. ඕනෙ වෙලාවක හඹා යන්න පුලුවන්. අපි සමහර විට 370 ක් ගැහුවනම් මම හිතනවා අපිට තරගය දිනන්න තිබ්බා. මොකද අපේ අතේ තිබ්බ තරගය‍, අපි අවුරුදු ගානක් ගහලා ලෙජන්ඩ්ස්ලා සෙල්ලම් කරලත් අපි පාකිස්තානයත් එක්ක තරගයක් දිනලා නෑ ලෝක කුසලානවල. අපිට අද ලොකු අවස්ථාවක් තිබ්බා තරගය ජයගන්න. තුන් ඉරියව්වෙන්ම ගොඩක් වැරැදි කරපු නිසා තමයි පරාජය වුණේ.  

“ඇත්තටම අපිට ගොඩක් මේ තණතීරුවල පුරුදු නැත්තේ බෝලින් තමයි. මොකද බැට්ස්මන්ලට හැමතිස්සෙම 350 ක් 360 ක් මේ තණතීරුවල ලේසියෙන්ම ගහන්න පුලුවන්. ඉතිං බෝලර්ස්ලා පැත්තෙන් බැලුවම අපි ඇත්තටම ඩිසිප්ලීන් වුණේ නැත්නම් අපි තරග අනිවාර්යයෙන්ම පරාජයට පත් වෙනවා. පන්දු රැකීමෙනුත් අපි ඩිසිප්ලීන් වෙන්න ඕනෙ. මම දකින දේ අනුව අපි ඉස්සරහ තරගවලට මීට වඩා මහන්සි වෙලා, මොකද මේ තරගාවලිය ලොකු තරගාවලියක් මැචස් ගොඩක් තියෙනවා. අපිට ට්‍රැවල් කරන්න තියෙනවා ඉන්දියාවෙම. අපිට හම්බෙන හැම අවස්ථාවෙම අපි පුලුවන් තරම් ඩිසිප්ලීන් වෙන්න උත්සාහ කරොත් තමයි අපිට තරග දිනන්න පුලුවන්.”