Ultimate magazine theme for WordPress.

තවත් රටවල් දෙකක් T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිත 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා තවත් රටවල් දෙකක් සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ, 20යි 20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන යුරෝපා කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය හරහායි.

ඒ අනුව අයර්ලන්තය හා ස්කොට්ලන්තය යන රටවල් 20යි 20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා තිබෙනවා.

ජර්මනිය සමග අද(27) පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වීමත් සමගයි අයර්ලන්තය ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේ.

සත්කාරක ස්කොට්ලන්ත කණ්ඩායම ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගත්තේ අද පැවැති තරගයකින් ඩෙන්මාර්ක් කණ්ඩායම ලකුණු 33 කින් පරාජයට පත් කරමින්.

කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලි ආරම්භ වීමට පෙර ලෝක කුසලාන තරගාවලිය සදහා රටවල් 12 ක් සුදුසුකම් ලබා තිබුණා. තරගාවලිය සදහා එක්වීමට නියමිත සමස්ත රටවල් සංඛ්‍යාව 20 ක්.

ඇමෙරිකාව හා කොදෙව්වන් ලබන වසරේ පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ගත්තේ ඔවුන් තරගාවලියේ සත්කාරක රටවල් බැවිනුයි.

2022 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියෙන්ම පසු වූ රටවල් 8 වන ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නෙදර්ලන්තය, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව ද 2024 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ගත්තා.

එම තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබූ අනෙක් රටවල් දෙක වූයේ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම පසු වූ සෙසු රටවල් දෙක වන ඇෆ්ඝනිස්තානය හා බංග්ලාදේශයයි.

Leave a comment