Ultimate magazine theme for WordPress.

තරගය පැරදුණේ ඇයි? – නවීඩ් නවාස් හේතු පහදයි ; මතභේදාත්මක විනිසුරු තීරණයට එරෙහිවත් ක්‍රියාමාර්ග

කමිදු මෙන්ඩිස්ගේ දුවද්දී දැවී යාම හා චරිත් අසලංකගේ දැවී යාම බංග්ලාදේශයට එරෙහි දෙවැනි විස්සයි 20 තරගය පරාජයට පත් වීමට තීරණාත්මක සාධකයක් වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් මහතා පවසනවා.

සිල්හෙට් හි පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු අටක පරාජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

මෙම තරගයේ දී කමිදු මෙන්ඩිස් ලකුණු 37(27) ක් ලබා සිටියදී දුවද්දී දැවී ගිය අතර, චරිත් අසලංක ලකුණු 28(14) ක් රැස් කර සිටියදී දැවී ගියා. ඔවුන් දෙදෙනාම ඉතා හොදින් පන්දුවට පහර ‍දෙමින් සිටියදී එලෙස දැවී යාම හේතුවෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමේ අවස්ථාව අහිමි වී ගියා.

ක්‍රීඩාංගනයට රාත්‍රී කාලයේ දී දැඩි පින්නක් ඇද හැලෙන බැවින් දෙවැනියට පන්දු යවන කණ්ඩායමට එය දැඩී බලපෑමක් සිදු කරනවා. ඒ අනුව පළමුව පන්දුවට පහර දෙන කණ්ඩායම තරගය ජය ගැනීමටනම් අවම වශයෙන් ලකුණු 200 සීමාව ඉක්මවා රැස් කළ යුතු පසුබිමක ශ්‍රී ලංකාවට මෙම තරගයේ දී රැස් කර ගත හැකි වූයේ කඩුලු 5ක් දැවී ලකුණු 165 ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ දී අවම වශයෙන් ලකුණු 15 ක් හෝ 20 ක් පමණ අඩුවෙන් රැස් කළ බවත්, කමිදු මෙන්ඩිස් හා චරිත් අසලංක තවත් වේලාවක් තණතීරුවේ රැදී සිටියේනම් ප්‍රතිපලය වෙනස්වන්නට ඉඩ තිබූ බවත් ශ්‍රී ලංකා සහාය පුහුණුකරු අවධාරණය කර සිටියා.

මේ අතර, මෙම තරගයේ දී තෙවැනි විනිසුරු ලබා දුන් මතභේදාත්මක තීරණය සම්බන්ධයෙන් තරග තීරකවරයා හරහා සොයා බැලීමට සිදු වන බව ද සහාය පුහුණුකරු නවීඩ් නවාස් සදහන් කළා.

බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල සිව්වැනි පන්දුවාරයේ පළමු පන්දුවෙන් දවා ගැනීමට (ලකුණු 28 දී) ශ්‍රී ලංකාවට අවස්ථාවක් උදා වූ නමුත්, තෙවන විනිසුරු Masudur Rahman ලබා දුන් මතභේදාත්මක තීන්දුවක් හේතුවෙනුයි ශ්‍රී ලංකාවට එම අවස්ථාව අහිමි වී ගියා.

සෞම්‍ය සාකාර් ලකුණු 14 ක් ලබා සිටියදී ඔහු කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගිය බවට පිටියේ විනිසුරු විසින් තීන්දු කළ නමුත්, සාකාර් විසින් එම තීන්දුව විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ඔස්සේ අභියෝගයට ලක් කළා.

පන්දුව පිත්ත පසු කරනවාත් සමගම ශබ්ද තරංගයක් පුනරූපනවලදී ද දැක ගත හැකි වූ නමුත්, තෙවන විනිසුුරු එය නොදැවී යාමක් ලෙසයි තීන්දු කළේ. එම විනිසුරු තීන්දුවට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැඩි විරෝධයක් පළ කළ අතර, ඒ හේතුවෙන් තරගය යළි ආරම්භ කිරීම ද මිනිත්තු කිහිපයකින් ප්‍රමාද වුණා.

අනතුරුව සාකාර් ඉනිමේ පළමු කඩුල්ල ලෙස 7 වැනි පන්දුවාරයේ දී දැවී ගියේ ලකුණු 26 ක් ලබා සිටියදීයි.

පිටියේ විනිසුරු එය දැවී යාමක් ලෙස සදහන් කළ බැවින් එය සංශෝදනය කිරීමටනම් පැහැදිලි සාක්ෂි තෙවන විනිසුරු සතු විය යුතු බව නවීඩ් නවාස් පෙන්වා දෙනවා.

පුනරූපනවලින් එය දැවී යාමක් ලෙස පැහැදිලිව දැකිය හැකි වූ බවත්, ඒ අනුව තරග තීරකවරයා හරහා මේ සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීමක් සිදු කරන බවත්, සහාය පුහුණුකරු අවධාරණය කළා.