Ultimate magazine theme for WordPress.

ටොම් කරන්ගේ දඩුවමට එරෙහි අභියාචනය ඉවතට

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ටොම් කරන්ට එරෙහිව පැනවූ බිග් බෑෂ් ලීග් තරග හතරක තහනමට එරෙහිව සිඩ්නි සික්සර්ස් කණ්ඩායම විසින් ගොණු කළ අභියාචනය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සමාලෝචන මණ්ඩලය (review board of Cricket Australia) විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව ජනවාරි 3 වැනිදා දක්වා ඔහුට එරෙහි තහනම තවදුරටත් බලපැවැත්වෙනු ඇති.

හෝබාර්ට් හරිකේන්ස් කණ්ඩායමට එරෙහිව පසුගිය 11 වැනිදා පැවැති තරඟයට පෙර ඇති වූ සිද්ධියකදී විනිසුරුවරයෙකු බිය ගැන්වීම යන චෝදනාවට වරදකරු වීම හේතුවෙනුයි මෙම දඩුවම ඔහුට පැනවුණේ.

තරගයට පෙර ටොම් කරන් ශරීරය උණුසුම් කිරීමේ ව්‍යායාමවල නිරත වෙමින් සිටියදී තණතීරුවේ කොටසක් හරහා දිව ගොස් තිබුණා.
අනතුරුව විනිසුරුවරයෙකු විසින් ඔහුට එසේ නොකරන ලෙසට උපදෙස් ලබා දී තිබුණා. පසුව ටොම් කරන් තණතීරුවේ ප්‍රතිවිරුද්ධ දිශාවට ගොස් ඇත්තේ තවදුරටත් දිවයාමේ අරමුණින්.

එහිදී කරන් තණතීරුව හරහා ගමන් කිරීම වැලැක්වීමේ අරමුණින් විනිසුරුවරයෙකු කඩුල්ල අසල රැදී සිටි නමුත්, පසුව ටොම් කරන් විනිසුරු සිටින දිශාවටම දිව ගියා. එහිදී කරන් හා විනිසුරු අතර ගැටීමක් සිදු වීමේ අවධානමක් පැවැති අතර, එය වළක්වා ගැනීමේ අරමුණින් විනිසුරු පියවරක් ටොම් කරන්ගේ ගමන් මාර්ගයෙන් ඉවතට යාමට කටයුතු කළා.

ඒ අනුව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ විනය නීති සංග්‍රහයේ තෙවැනි මට්ටමේ වරදක් ඔහු විසින් සිදු කර ඇති බවට තීරණය කරමින් තරග හතරක තහනමක් පැනවීමටයි පියවර ගැණුනේ.

කෙසේ වෙතත්, අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් ටොම් කරන් අදාළ  සිද්ධිය සම්බන්ධයෙන් සිය කනගාටුව ද පල කර සිටියා.

Leave a comment