Ultimate magazine theme for WordPress.

ටෙස්ට් තරගයේ දී අනතුරකට මුහුණ දුන් චාමික රෝහල්ගත කෙරේ

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද(4) දිනයේ දී කම්පන තත්ත්වයකට මුහුණ දුන් චාමික ගුණසේකර මේ වන විට රෝහල්ගතව සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඔහු පැය 24 ක කාලයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අද දිනයේ දී ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටින අතරවාරයේ දී පන්දුවක් හිස් ආවරණයේ වැදීම හේතුවෙනුයි මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ චාමික මෙලෙස කම්පන තත්ත්වයකට මුහුණ දුන්නේ.

පන්දු 27 කින් ලකුණු 16 ක් ලබා සිටි චාමික ගුණසේකර මෙම කම්පන තත්ත්වය නිසා පිටියෙන් ඉවත් වීමට කටයුතු කළා.

අනතුරුව ඔහු වෙනුවට කසුන් රාජිත ශ්‍රී ලංකා කණ්ඩායම සදහා ආදේශ කිරීමට පියවර ගැණුනා.

චාමික ගුණසේකර ඇෆ්ඝනිස්තාන පළමු ඉනිමේ දී පන්දුවාර 9ක් යොමු කළ නමුත්, ඔහුට ලකුණු 50 ක් ලබා දී කිසිදු කඩුල්ලක් දවා ගැනීමට හැකි වූයේ නැහැ.

ඔහු 2022 වසරේ ජනවාරි මාසයේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත් තරගයේ දී ද ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහුට යොමු කිරීමට හැකි වූයේ එක් පන්දුවාරයක් පමණයි.

අනතුරුව ඔහුට යළි ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා වූයේ මෙම ටෙස්ට් තරගයේ දී යි.