Ultimate magazine theme for WordPress.

ටස්මින්ගේ ශතකය අපතේ යයි ; ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු එක්දින තරගය වැස්සට සේදෙයි

Match Report

Tazmin Brits වාර්තා කළ දෙවැනි එක්දින ජාත්‍යන්තර ශතකය අපතේ යවමින් දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව නිමා වුණා.

East London හි පැවැති තරගයේ ආරම්භය ද ක්‍රීඩාංගනයේ තෙත සහිත තත්ත්වය හේතුවෙන් ප්‍රමාද වූ අතර, පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් විසින් ශ්‍රී ලංකාවට ලකුණු 271 ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දුන්නා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 6.5 කට පමණක් සීමා වුණේ වර්ෂාව සහිත අයහපත් කාළගුණයෙන් තරගයට බලපෑම් එල්ල වූ බැවින්.

ඒ වන විට ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 23 ක් ලබා සිටියා. චමරි අතපත්තු නොදැවී ලකුණු 12 ක් හා විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 9ක් ලබා කඩුල්ලේ රැදී සිටියා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 270 ක් ලබා ගත්තේ කඩුලු 6 ක් දැවී සිටියදීයි.

Tazmin Brits පන්දු 128 කින් ලකුණු 116 ක් රැස් කළේ හතරේ පහර 12 ක් ද සමගින්.

පන්දු යැවීමේ දී ඕෂදී රණසිංහ, සුගන්දිකා කුමාරි හා කවීෂා දිල්හාරි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි තරගය එළඹෙන 13 වැනිදා Kimberley හී දී පැවැත්වීමට නියමිතයි.

Leave a comment