ඝාතනයකට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ ශකිබ්ට එංගලන්තයෙන් ගිවිසුමක්

බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන අන්තර් ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලිය (County Championship) සදහා බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් එක් කර ගැනීමට සරේ කණ්ඩායමේ අවධානය යොමුව තිබෙනවා.
සමර්සෙට් කණ්ඩායමට එරෙහිව සැප්තැම්බර් 9 වැනිදා ආරම්භ වීමට නියමිත තරගය සදහායි ඔහුව මෙලෙස සම්බන්ධ කර ගැනීමට අවධානය යොමු කර ඇත්තේ.
ඒ සදහා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ද අනුමැතිය ලබා දී ඇති බව සදහන්.
සැප්තැම්බර් 19 වැනිදා සිට බංග්ලාදේශ හා ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමට නියමිත අතර, ඒ අනුව සමර්සෙට් කණ්ඩායමට එරෙහි තරගය අවසන් වීමෙන් පසුව ශකිබ් ලන්ඩන් නුවර සිට චෙන්නායි වෙත පැමිණීමට නියමිතයි.
බංග්ලාදේශයේ පැවැති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ අතරතුර දී පුද්ගල ඝාතනයක් සිදු කළ බවට එරට පැවැති ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු වූ ශකිබ් ඇතුළු පුද්ගලයින් 147 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල කළා.
කෙසේ වෙතත්, ඊට අදාළ විමර්ශන කටයුතු තවත් ආරම්භක අදියරේ පවතින බැවින් ශකිබ්ට තවදුරටත් බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දීමටයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.