Ultimate magazine theme for WordPress.

“ගොඩක් වෙනස්කම් කරන්න මම කැමති නෑ” : අංක 4 පිතිකරු ගැනත් අසලංකගෙන් අනාවරණයක්

තමා ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායකත්වයට පත් වුවද, කණ්ඩායමේ බොහෝ වෙනස්කම් සිදු කිරීමට තමන් අකමැති බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පවසනවා.

ඉන්දියාව සමග සෙනසුරාදා (27) ආරම්භ වන විස්සයි 20 තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ක්‍රීඩකයින් නිදහස් මානසිකත්වයකින් පැමිණ තරග ක්‍රීඩා කරනවා දැකීම මෙන්ම ඒ තුළින් ක්‍රීඩකයින්ගේ උපරිම දායකත්වය කණ්ඩායමට ලබා ගැනීමට තමන් උත්සාහ කරන බවයි චරිත් කියා සිටියේ.

“අපි හැමදාම ඉගෙන ගන්නවා දේවල්. මම කණ්ඩායමේ ක්‍රීඩකයින්ටත් කියන්නේ අපි අද හිටපු තැන හෙට ඉන්න බෑ. අපි දවසින් දවස ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි හොද ක්‍රීඩකයෙක් හොද නායකයෙක් හැදෙන්නේ.” යනුවෙන් චරිත් අසලංක පවසා සිටියා.

“මම ගොඩක් නායකයෝ යටතේ ක්‍රීඩා කරලා තියෙනවා. මම ගොඩක් නායකයෝ දිහා බලන් ඉන්නවා තරග බලද්දී. ඉතිං ඒ හැමෝගෙම හොද දේවල් මම මගේ නායකත්වයටත්, ක්‍රීඩකයෙක් විදිහටත්, මගේ ජීවිතයටත් මම ගන්නවා.”

මේ අතර, ශ්‍රී ලංකා සංචිතයට ආරම්භක පිතිකරුවන් සිව් දෙනෙකු ඇතුළත්ව සිටිය ද, අවසන් 11 දෙනාගේ කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වන්නේ ඔවුන්ගෙන් තිදෙනෙකුට පමණක් බව චරිත් අසලංක පෙන්වා දෙනවා. ඒ අනුව එක් ආරම්භක පිතිකරුවෙකුට කණ්ඩායමේ ස්ථානය අහිමි වනු ඇති.

LPL තරගාවලියේ දී ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, දිනේස් චන්දිමාල් හා කුසල් පෙරේරා මෙම විස්සයි 20 තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්. අවිශ්ක ප්‍රනාන්දු ද සංචිතයට නම් කර ඇතත්, ඔහු LPL තරගාවලියේ දී මැදපෙල පිතිකරුවෙකු ලෙසයි ක්‍රීඩා කළේ.

LPL තරගාවලියේ දී ද සාර්ථක පිතිහරඹයක නිරත වූ කමිදු මෙන්ඩිස් අංක 4 ස්ථානයේ පන්දුවට පහර දීමට ඉඩ ඇති බව ද ශ්‍රී ලංකා නායකයා සදහන් කර සිටියා.

LPL තරගාවලියේ දී ක්‍රීඩකයෙකු දක්ෂතා දක්වන්නේ නම් ඔහුට ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමට ඇතුළත් වීම සදහා මනා අවස්ථාවක් හිමි වන බවයි චරිත් පෙන්වා දෙන්නේ.