ගෘහස්ථ ටෙස්ට් තරග පවත්වන්න හෝබාර්ට්හි නව ක්‍රීඩාංගනයක් ; සැලසුම් සකසන්න ball-tracking තාක්ෂණය

ක්‍රිකට් ක්‍රීඩාවට වර්ෂාවෙන් බාධා එල්ල වීම සාමාන්‍ය සිදු වීමක්. මේ හේතුව නිසාම ඉහළින් ආවරණයක් සහිත ක්‍රීඩාංගනවල ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රීඩා කිරීම පිළිබද කතා බහක් ඇතිව තිබෙන්නේ අද ඊයෙක සිට නොවේ.
මීට පෙර වහලයක් සහිතව ඉදි කර ඇති ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි Docklands ක්‍රීඩාංගනය ද (Marvel ක්‍රීඩාංගනය ලෙස ද හැදින්වේ) ක්‍රිකට් තරග සදහා යොදා ගත් අතර, ඇතැම් අවස්ථාවලදී පිතිකරුවන් එහි වහලයට වදින අයුරින් දැවැන්ත පහරවල් එල්ල කළ ආකාරය ද ඔබට මතක ඇති.
මෙවැනි පසුබිමක් තුළ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළ හැකි ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදි කිරීමේ සූදානමක් සම්බන්ධයෙන් තොරතුරු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.
හෝබාර්ට් හී දී මෙම නව ක්‍රීඩාංගනය ඉදි කිරීමට සූදානමින් ඇත්තේ ඔස්ට්‍රේලියානු පාපන්දු ලීගය හෙවත් AFL තරගාවලියට තස්මේනියා කණ්ඩායම ඇතුළත් වීමේ එක් පියවරක් ලෙසයි.
Tasmania Devils කණ්ඩායම AFL තරගාවලියේ 19 වැනි කණ්ඩායම ලෙස 2028 වසරේ සිට අදාළ තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. ඔවුන්ගේ සත්කාරක ක්‍රීඩාංගනය ලෙසයි මෙම නව ක්‍රීඩාංගනය යොදා ගැනීමට නියමිතව ඇත්තේ.
ආසන 23,000 කින් යුක්තව ඉදි කිරීමට සැලසුම් කර ඇති Macquarie Point ක්‍රීඩාංගනය ක්‍රීඩා කිහිපයක් ක්‍රීඩා කළ හැකි ක්‍රීඩාංගනයක් ලෙස ඉදි කෙරෙනවා.
එහිදී ක්‍රීඩාංගනයට ඉහළින් විනිවිද පෙනෙන වහලයක් (transparent roof) ඉදි කිරීමට නියමිතව ඇති අතර, ඒ අනුව දිවා කාලයේ දී ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ අවස්ථාව මෙන්ම රාත්‍රී කාලයේ දී විදුලි ආලෝකය මැද ක්‍රිකට් තරග පැවැත්වීමේ අවස්ථාව ද හිමි වනු ඇති.
ක්‍රීඩාංගනයට අදාළ සැලසුම් නිර්මාණය මේ වන විට ප්‍රසිද්ධියට පත් කර ඇති අතර, ක්‍රිකට් ක්‍රීඩාව සදහා වහලය ප්‍රමාණවත් උසකින් ඉදි කිරීම වෙනුවෙන් පන්දුවල ගමන් මග ලුහුබැඳීමේ තාක්ෂණයෙන් ගත් දත්ත (Ball-tracking data) යොදා ගෙන තිබෙනවා.
“ක්‍රිකට් ක්‍රීඩාවේ ලොකුම ගැටලුව තමයි වහලයේ උස… මෙල්බර්න්හි Marvel ක්‍රීඩාංගනයේ වහලයේ පන්දුව වදින්න පුලුවන් වීම ගැටලුවක් වුණා.” යනුවෙන් Cox Architecture සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී Alistair Richardson කියා සිටියා.
“ඕනෑම අයෙකු පන්දුවකට පහර දෙන උපරිම උස ඇත්තටම තක්සේරු කරන්න අපි Hawk-Eye තාක්ෂණය හා ball-tracking තාක්ෂණය යොදා ගත්තා. පසුව අපි වහලය මීටර් 50 ක් දක්වා උසට තල්ලු කරා. එය ක්‍රිකට් ක්‍රීඩාවට සතුටු විය හැකි දෙයක්. මොකද මීටර් 50 ක් උසට කිසිවෙකුත් පහර දීලා තියෙන අවස්ථාවක් වාර්තා වෙලා නැහැ.”
මෙල්බර්න්හි Marvel ක්‍රීඩාංගනයේ දී 2000 දශකය මුලදී ගෘහස්ථ එක්දින ජාත්‍යන්තර තරග ද පැවැත්වූ අතර, බිග් බෑෂ් ලීග් තරගාවලියේ තරග ද වහලය වසා දමා එම ක්‍රීඩාංගනයේ දී ක්‍රීඩා කිරීමේ හැකියාව පවතිනවා. නමුත්, ඉහළින් ආවරණය වූ ක්‍රීඩාංගනයක ටෙස්ට් ක්‍රිකට් තරග මෙතෙක් පවත්වා නැහැ.