Ultimate magazine theme for WordPress.

ගාල්ලේ දී ආබාධයකට ලක් වූ පාකිස්තාන සුපිරි වේග පන්දු යවන්නා ආසියානු කුසලානයෙන් ඉවතට

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩිට එළඹෙන 27 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වන ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, දකුණු දණහිසේ ඇතිව තිබෙන ආබාධ තත්ත්වයෙන් ඔහුට මෙතෙක් සම්පූර්ණයෙන් සුවය ලැබීමට නොහැකි වීම හේතුවෙන්.

ආබාධය හේතුවෙන් ඔහුට ලබන මාසයේ දී එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 7 කින් යුත් 20යි 20 තරගාවලිය ද ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

ඒ අනුව ශහීන් අෆ්රිඩි ඔක්තෝබර් මාසයේ දී ආරම්භ වන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සම්පූර්ණයෙන් සුවය ලැබීමේ අභියෝගයකට ද මේ වන විට මුහුණ දී සිටිනවා.

ඔහු මෙම ආබාධයට ලක් වුණේ ශ්‍රී ලංකාව සමග ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී යි.

නවතම වෛද්‍ය වාර්තා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහුට සති 4ත් 6ත් අතර කාලයක් විවේක ගන්නා ලෙසටයි එරට ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය උපදේශක කමිටුව උපදෙස් ලබා දී ඇත්තේ.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ ශහීන් අෆ්රිඩිට ඔක්තෝබර් මාසයේ දී නවසීලන්තයේ පැවැත්වෙන තුන්කොන් 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

Leave a comment