කොදෙව් ආරම්භක පිතිකරුවා T20 ලෝක කුසලානයෙන් ඉවතට

බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරු බ්‍රෙන්ඩන් කිංග්ට මෙවර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි සියලු තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඒ, සුපිරි 8 වටය යටතේ පසුගිය 19 වැනිදා එංගලන්තය සමග පැවැති තරගයේ දී ඔහු මුහුණ දුන් ආබාධයක් (side strain) හේතුවෙන්.
ඔහු වෙනුවට වමත් ආරම්භක පිතිකරුවෙකු වන ක්යල් මේයර්ස් සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මේයර්ස් සෙනසුරාදා දිනයේ දී කොදෙව් සංචිතය සමග එක් වනු ඇති.
එංගලන්තය සමග පැවැති තරගයේ දී බ්‍රෙන්ඩන් කිංග් පන්දු 12 කින් ලකුණු 23 ක් ලබා ගෙන සිටි අතර, ඔහු මුහුණ දුන් 13 වැනි පන්දුවේ දී යි අදාළ ආබාධයට මුහුණ දුන්නේ.
අනතුරුව ඔහුට මූලික වෛද්‍ය ප්‍රතිකාර ක්‍රීඩාංගනය තුළදීම ලබා දුන් නමුත්, ඔහුට අඛණ්ඩව පිතිකරණයේ නිරත වීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ අනුව ඔහු ලකුණු 23 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුණා.