Ultimate magazine theme for WordPress.

කැම්පර්ගේ තුන් ඉරියව් දක්ෂතා හා බැල්බර්නිගේ 82* අයර්ලන්තයට තරගාවලියේ ජය හිමි කර දෙයි

Match Report

කර්ටිස් කැම්පර්ගේ තුන් ඉරියව් දක්ෂතා හා ඇන්ඩි බැල්බර්නිගේ නොදැවුණු අර්ධ ශතකය හමුවේ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තෙවැනි එක්දින තරගය ජය ගනිමින් තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

වර්ෂාවෙන් බාධා එල්ල වූ තෙවැනි එක්දින තරගයෙන් අයර්ලන්තය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ජය වාර්තා කළේ කඩුලු හතකින්.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව නිමා වූ අතර, දෙවැනි එක්දින තරගයෙන් අයර්ලන්තයට කඩුලු හතරක ජයක් හිමි වුණා.

මෙය අයර්ලන්තය විසින් සිම්බාබ්වේ හී දී එක්දින තරගාවලියක් ජය ගත් පළමු අවස්ථාව වීම විශේෂත්වයක්.

හරාරේ හී දී පැවැති තෙවැනි එක්දින තරගයේ ඉනිමක් පන්දුවාර 40කට සීමා වූ අතර, පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 40 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 197 ක් පමණයි.

Joylord Gumbie ලකුණු 72 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී කර්ටිස් කැම්පර් ලකුණු 37 කට කඩුලු 4 ක් හා Graham Hume ලකුණු 34 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත පිලට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 40කදී ලකුණු 201 ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් පන්දුවාර 37.5 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඇන්ඩි බැල්බර්නි නොදැවී ලකුණු 82 ක් ලබා ගත්තේ පන්දු 102 කින්. ඒ, හයේ පහරක් හා හතරේ පහර 4 ක් සමගින්.

කර්ටිස් කැම්පර් ලකුණු 40 ක් හා හැරී ටෙක්ටර් ලකුණු 33 ක් ලබා ගත් අතර, ලෝකන් ටකර් නොදැවී ලකුණු 29 ක් රැස් කළා.