Ultimate magazine theme for WordPress.

ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ඉන්දීය ටෙස්ට් තරගාවලියෙන් ඉවතට

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ට ඉන්දියාව සමග මේ දිනවල පැවැත්වෙන තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග දෙක ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, දිල්ලි හී දී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේ දී පන්දුවට පහර දෙමින් සිටින අතරතුර දී වම් අතෙහි පන්දුවක් වැදීමෙන් සිදු වූ ආබාධය හේතුවෙන්.

පන්දුවක් හිස් ආවරණයේ වැදීම හේතුවෙන් ඔහු එම ඉනිමේ දී කම්පන තත්ත්වයකට ද ගොදුරු වූ අතර, ඒ හේතුවෙන් ඔහුව එම තරගයේ ඉතිරි දිනවලින් ඉවත් කිරීමට ද කණ්ඩායම් කලමනාකාරීත්වය පියවර ගත්තේ ඔහු වෙනුවට මැට් රේන්ෂෝ කණ්ඩායමට ආදේශ කරමින්.

මොහමඩ් සිරාජ් යොමු කළ පන්දු දෙකක් හමුවේයි ඔහු එම අනතුරු දෙකට මුහුණ දුන්නේ.

ඔහුගේ වම් අතෙහි වැලමිටෙහි බිදී යාමක් සිදුව ඇති බවට වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී ඇති අතර, ඒ අනුව ඔහු යළි ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතයි.

කෙසේ වෙතත්. ආබාධය සුව වීමෙන් පසුව ඩේවිඩ් වෝනර් යළි ඉන්දියාව වෙත පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන්නේ මාර්තු 17 වැනිදා දෙරට අතර ආරම්භ වන එක්දින තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අරමුණින්.

වෝනර් නොමැති වීම හේතුවෙන් දෙවැනි ටෙස්ට් තරගයේ ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේ දී ට්‍රැවිස් හෙඩ් ඉනිම ආරම්භ කළ අතර, ඒ අනුව ඉතිරි ටෙස්ට් තරග දෙකේ දී ද ට්‍රැවිස් හෙඩ් ඔස්ට්‍රේලියානු ඉනිමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස උස්මාන් කවාජා සමගින් ක්‍රීඩා කරනු ඇති.

Also Read : පැට් කමින්ස් යළි ඔස්ට්‍රේලියාව බලා පිටව යයි

මීට පෙර ආබාධයකට ලක් වීම හේතුවෙන් ඉන්දියාව සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරග දෙක ක්‍රීඩා කිරීමට නොහැකි වූ ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ්ට ද දෙරට අතර පැවැත්වීමට නියමිත අවසන් ටෙස්ට් තරග දෙක ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන බෝර්ඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලබන පළමු වැනිදා ඉන්දෝර් හී දී ආරම්භ වීමට නියමිතයි.