එතරම් පින්නක් බලාපොරොත්තු වුණේ නැහැ – ජනිත් ලියනගේ

චිතගොංහී දී පැවැති බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගය සදහා රාත්‍රී කාලයේ දී පින්නෙන් බලපෑමක් එල්ල වනු ඇතැයි අපේක්ෂා නොකළ බව ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු ජනිත් ලියනගේ පවසනවා.
පළමු තරගයෙන් කඩුලු හයක පරාජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු සදහන් කළේ තරගයට පින්නෙන් බලපෑමක් සිදු වේවැයි අපේක්ෂා නොකළ බැවින් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ බවයි.
සිල්හෙට් හි පැවැති විස්සයි තරගාවලිය සදහා පින්නෙන් දැඩි බලපෑමක් එල්ල වූ පසුබිමකයි ශ්‍රී ලංකාව පළමු එක්දින තරරගයේ දී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේ.
නමුත්, චිතගොං ප්‍රදේශයට පසුගිය දිනවලදී සැලකිය යුතු පින්නක් ඇද වැටී තිබුණේ නැහැ.
මෙම තරගයේ දී ලකුණු 256 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශය එක් අවස්ථාවක ලකුණු 92 කට කඩුලු 4ක් දැවී යම් අසීරු තත්ත්වයක පසු වූ නමුත්, 5 වැනි කඩුල්ල සදහා ලකුණු 165 ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩ නැගීමට නජ්මුල් හොසේන් ශන්තෝ හා මුෂ්ෆිකර් රහීම් සමත් වීමත් සමග තරගයේ ජය පහසුවෙන්ම බංග්ලාදේශයට හිමි වුණා.
පින්නෙන් තරගයට සිදු වූ බලපෑමත් සමග පන්දු යවන්නන්ට නිසි පරිදි පන්දුව ග්‍රහනය කිරීමට නොහැකි වීම මත තරගය ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගිය බවයි ජනිත් ලියනගේ සදහන් කළේ.
කෙසේ වෙතත්, අවිශ්ක ප්‍රනාන්දු හා පැතුම් නිස්සංක පළමු පන්දුවාර 10 තුළ දී පළමු කඩුල්ලට ලකුණු 71 ක සම්බන්ධතාවයක් පිහිටුවමින් ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන් පසුබිමක ලකුණු 300 ක් කරා ශ්‍රී ලංකා ඉනිම රැගෙන යාමට මනා අවස්ථාවක් පැවැති නමුත්, පන්දුවාර කිහිපයක් තුළ කඩුලු 3ක් දැවී යාමත් සමග ශ්‍රී ලංකාවට යළි ඉනිම ගොඩ නැගීමට සිදු වීම නිසා ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් කරා ඉනිම රැගෙන යාමට නොහැකි වීම ද තරගයේ පරාජයට හේතු වූ බව ලියනගේ පෙන්වා දුන්නා.