Ultimate magazine theme for WordPress.

එංගලන්ත ප්‍රධාන පුහුණුකරු ඉල්ලා අස් වෙයි – නව පුහුණුකරු ධූරය සංගක්කාරට ?

එංගලන්ත සීමිත පන්දුවාර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මැතිව් මොට් සිය ධූරයෙන් ඉවත් වී තිබෙනවා.

ඒ, නිමා වූ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී එංගලන්ත කණ්ඩායම ඉන්දියාව හමුවේ පරාජයට පත් වීමත් සමග තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ පසුබිමකයි. 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී ද එංගලන්ත කණ්ඩායම දැඩි ලෙස අසාර්ථක වුණා.

ඒ අනුව එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ සහාය පුහුණුකරු මාර්කස් ට්‍රෙස්කොතික් තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට පියවර ගත් බවයි.

2022 වසරේ මැයි මාසයේ දී වසර හතරක කාලයක් සදහා මැතිව් මොට් ප්‍රධාන පුහුණුකරු ධූරය භාර ගත් අතර, එම වසරේ දී එංගලන්තය විස්සයි 20 ලෝක ශූරතාවය ද දිනා ගැනීමට සමත් වුණා.

එංගලන්ත සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකයා ලෙස ඉදිරියටත් ජොස් බට්ලර් කටයුතු කිරීමට නියමිතයි.

නව ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කර ගැනීම සදහා අවශ්‍ය කටයුතු ආරම්භ කරන බව ද එංගලන්ත කලමනාකාර අධ්‍යක්ෂ රොබ් කී සදහන් කළා.

මේ අතර, එංගලන්තයේ Telegraph මාධ්‍ය ආයතනය වාර්තා කර ඇත්තේ නව ප්‍රධාන පුහුණුකරු ධූරය වෙනුවෙන් වන නම් අතරේ ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර ද ඉදිරියෙන් සිටිනු ඇති බවයි.

ඔහු මේ වන විට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර, එංගලන්ත නායක ජොස් බට්ලර් ද අයි.පී.එල් තරගාවලියේ දී නියෝජනය කරන්නේ රාජස්ථාන් කණ්ඩායමයි.

ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩක මයික් හසී මෙන්ම ඇෆ්ඝනිස්තාන ප්‍රධාන පුහුණුකරු ජොනතන් ත්‍රොට් ද ප්‍රධාන පුහුණුකරු ධූරය වෙනුවෙන් සලකා බලනු ඇති.