Ultimate magazine theme for WordPress.

උසාමාගේ කඩුලු 6 හා උස්මාන්ගේ ලකුණු 96 හමුවේ ලාහෝර් පිල අඛණ්ඩව 6 වැනි තරගයත් පරදියි

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගයෙන් ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම පරදා ලකුණු 60 ක ජයක් වාර්තා කිරීමට මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව සුල්තාන්ස් කණ්ඩායම මේ වන විට මෙවර තරග වාරයේ දී ක්‍රීඩා කළ තරග හයෙන් තරග පහක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර, කලැන්ඩර්ස් කණ්ඩායම මෙතෙක් ක්‍රීඩා කළ තරග හයම පරාජයට පත්ව කිබීම විශේෂත්වයක්.

ලාහෝර්හි පැවැති 14 වැනි තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 214 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායමට පන්දුවාර 17 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 154 ක් පමණයි.

පන්දු යැවීමේ දී උසාමා මීර් ලකුණු 40 කට කඩුලු හයක් දවා ගත්තා. පාකිස්තාන සුපර් ලීග් තරගයකදී දග පන්දු යවන්නෙකු කඩුලු හයක් දවා ගත් පළමු අවස්ථාව එයයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුල්තාන් කණ්ඩායම වෙනුවෙන් උස්මාන් ඛාන් ලකුණු 96 ක් ලබා ගත්තේ පන්දු 55 කින්. හයේ පහර 2ක් හා හතරේ පහර 11 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

Leave a comment