Ultimate magazine theme for WordPress.

ඉරිදා ඇරඹෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ සියලු තොරතුරු මෙන්න

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් තරග දෙකකින් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ ටෙස්ට් තරග සංචාරයේ පළමු තරගය හෙට(15) ආරම්භ වනවා.

පළමු තරගය පැවැත්වෙන්නේ චිතගොං හි Zahur Ahmed Chowdhury ක්‍රීඩාංගනයේ දී යි.

තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙම ටෙස්ට් තරගාවලිය ක්‍රිස් සිල්වර්වුඩ්ගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගාවලිය වීම ද විශේෂත්වයක්.

ප්‍රසාද ලකුණු සටහනේ ඉන්න තැන

මේ වන විට ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව 5 වැනි ස්ථානයේ රැදී සිටින අතර, බංග්ලාදේශය 8 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 24ක් හිමිව තිබෙනවා. ලකුණු ප්‍රතිශතය සටහන්ව ඇත්තේ 50%ක් ලෙසයි.

බංග්ලාදේශයට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු 12ක් පමණයි. ඔවුන්ගේ ලකුණු ප්‍රතිශතය 16.66%ක්.

ඉතිහාස කතාව

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර 2001 වසරේ සිට මේ දක්වා ටෙස්ට් තරග 22ක් පවත්වා ඇති අතර, ඉන් තරග 17කම ජය හිමි කර ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.

එක් තරගයක් පමණක් බංග්ලාදේශය ජය ගෙන තිබෙනවා. තරග 4ක් නිමා වුණේ ජය පරාජයෙන් තොරවයි.

ඒ අනුව මෙම තරගාවලිය සදහා බංග්ලාදේශය මුහුණ දෙන්නේ ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමේ අරමුණින්.

තරගාවලිය බලන හැටි

මෙම ටෙස්ට් තරගාවලියේ මෙරට දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමිව ඇත්තේ Supreme TV නාලිකාවටයි.

Dialog TV පාරිභෝගිකයින්ට ද මෙම තරගාවලිය එම නාලිකාව ඔස්සේ නැරඹීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

PEO TV පාරිභෝගිකයින්ට බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය Event TV නාලිකාව ඔස්සේ නැරඹීමට හැකි වනවා.

Supreme TV නාලිකාවට අයත් ෆේස්බුක් පිටුවෙන් හා යූටියුබ් නාලිකාවෙන් ද තරගාවලිය සජීවීව නැරඹීමට හැකි වන බව සදහන්.

‘Dialog ViU හා PEO TV GO යන යෙදුම් (App) ඔස්සේ ද මෙම ටෙස්ට් තරගාවලිය නැරඹීමට හැකියි.

කණ්ඩායම් දෙක

විවිධ හේතූන් මත ලහිරු තිරිමාන්න, චරිත් අසලංක, පැතුම් නිස්සංක, සුරංග ලක්මාල්(විශ්‍රාම ගැනීම නිසා), ලහිරු කුමාර හා දුෂ්මන්ත චමීර වැනි ක්‍රීඩකයින් නොමැති සංචිතයක් මෙම තරග සංචාරය සදහා නම් කිරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන තිබුණේ.

පළමු ටෙස්ට් තරගය සදහා වන ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් අවසන් ශ්‍රී ලංකා සංචිතය ද මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව පිතිකරුවන් ලෙස නායක දිමුත් කරුණාරත්න, ඕෂද ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජෙලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල් හා නිරෝෂන් දික්වැල්ල සංචිතයට ඇතුළත්.

දග පන්දු යවන්නන් ලෙස පළමු ටෙස්ට් තරගය සදහා වන අවසන් සංචිතයට ඇතුළත් කර ඇත්තේ රමේෂ් මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙණිය හා ප්‍රවීන් ජයවික්‍රම යන ක්‍රීඩකයින්.

විශ්ව ප්‍රනාන්දු හා අසිත ප්‍රනාන්දු වේග පන්දු යවන්නන් ලෙස අවසන් ක්‍රීඩකයින් 12 දෙනා අතරට නම් කර තිබෙනවා.

මේ අතර, කොවිඩ් 19 ආසාදනය වී පසුව සුවය ලැබූ බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් හෙට තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ආබාධවලට ලක්වීම හේතුවෙන් මෙහිදි හසාන් මිරාස් හා ටස්කින් අහ්මඩ් යන ක්‍රීඩකයින්ට සංචිතයේ ස්ථාන අහිමි වුණා.

තණතීරුව හා කාළගුණය

තරගය පැවැත්වෙන චිතගොං ක්‍රීඩාංගනයේ තණතීරුව සුපුරුදු පරිදි පිතිකරුවන්ට යොග්‍ය තණතීරුවක් වනු ඇති.

ඒ අනුව දග පන්දු යවන්නන්ට වුව ද එතරම් හිතකර තණතීරුවක් බවට එය පත් නොවනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

මෙම තරගය සදහා වර්ෂාවෙන් ද බලපෑම් එල්ල වනු ඇති බවට කාළගුණ වාර්තා පෙන්වා දෙනවා.